ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉවරද ? මහනුවර වාර්තාකරු

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලාභ ලබන අංශ පමණක් පෞද්ගලීකරණය නොකර සියලු අංශ ආවරණය වන පරිදි ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළක් දියත් කරන්නේ නම් ඊට තම සංගමයේ පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වංචා දූෂණ සේවීම සඳහා පත්කළ ජනපති කොමිසමේ වාර්තාව මේ දක්වා එළිදක්වා නොමැති බවත් එය වහා ජනතාව හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලන බවත් ඒ මහතා කීය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය වර්තමානයේ මුහුණ දී සිටින ගැටලු හා අභියෝග සම්බන්ධව මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් දැනුවත් කිරීමට අද (19) නිදහස් සේවක සංගමයේ පිරිසක් මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විජයපතිරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.ජාතික ගුවන් සේවයේ හෙට දවසේ ඉරණම කියන පොත මහනාහිමියන්ට මෙහිදී පිළිගැන්වීම ද සිදු කෙරිණි.
ජනපති කොමිසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හෝ එමගින් වැරදිකරුවන් ලෙස නම්කර තිබෙන පුද්ගලයින්ට දඬුවම් ලබා දීමක් මේවන තෙක් නොකළේ ඇයිද යන්න ප්‍රශ්නයක් බවද ඒ මහතා පැවසුවේය.
මේවන විට ගුවන් සේවයේ ලාභ ලබන අංශ පමණක් විකුණා දැමීමේ සැළසුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් එසේ කළහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් හෙතෙම අවධාරණය කළේය.
මෙම ඉල්ලීමට පිටින් ගොස් ලාභ ලබන අංශ පමණක් විකුණා දැමීමට රජය උත්සහ කළහොත් ගුවන් යානා මෙහෙයුම් සියල්ල අඩපණ වන ආකාරයේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමුවන බවද සභාපතිවරයා කීය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුගත කළ යුතුව තිබෙන බවත් අසීමිත ලෙස අලාභ ලබන තත්ත්වයෙන් ආයතනය ගොඩගත යුුතු බවත් ඒ මහතා කීය.

ගුවන් භාණ්ඩ,භූමි මෙහෙයුම්,ආහාර සැපයුම්,ගුවන් මෙහෙයුම් සහ ඉංජිනේරු ලෙස ගුවන් සේවයේ අංශ පහක් තිබෙන බවත් මෙයින් ගුවන් භාණ්ඩ,භූමි මෙහෙයුම් හා ආහාර සැපයුම් යන අංශ උපරිම ලෙස ලාභ ලබන බවත් කී සභාපතිවරයා ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ගුවන් මෙහෙයුම් වලදී අසීමිත වියදමක් දැරීමට සිදුවීමත් ගුවන් යානා වල ලීසිං වාරික ගෙවීමට විශාල මුදලක් වැය වීමත් නිසා එම අංශ පාඩු ලබන බවද ප්‍රකාශ කළේය.

විවිධ රජයන් විසින් ගත් වැරදි තීන්දු නිසා අලාභය වැඩිවී තිබෙන බවද හෙතෙම පැවසුවේය. ගුවන් සේවය සතුව ගුවන් යානා 24 ක් තිබෙන බවත් ඒවා සියල්ල ලීසිං පදනම මත ලබාගෙන තිබෙන බවත් සභාපතිවරයා පැවසුවේය.
ජාතික ගුවන් සේවය රටට අහිමි වුවහොත් විදේශ ගුවන් සේවා මෙරටට පැමිණෙන ගුවන් මගීන් ගෙන් විශාල ලෙස මුදල් අය කරනු ඇති බවත් එසේ වුවහොත් එය මෙරට සංචාරක කර්මාන්තයට ද අහපත් ලෙස බලපානු ඇති බවත් ඒ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *