සෙනෙහසේ පාලම තැනු මී පුරේ සොඳුරු මිනිසා – ලක්මාල් කේ බදුගේ

පිටිපන මෝයට මුහුණ ලා පිහිටි මීගමුව මුන්නක්කරය ධීවර ගමකි. එහි ජීවත් වන්නෝ කිතුනු බැතිමත්හු වෙති. 56 හැවිරිදි ඇන්ඩෲ සිල්වා මුන්නක්කරය, සිරිවර්ධන පෙදෙසේ ජීවත්වන අව්‍යාජ මිනිසෙකි. සංචාරක රියදුරෙකු ලෙස 1983 වසරේ සිට සිය රැකියාව ඇරඹු මේ මිනිසා ගිනිය නොහැකි තරම් විදෙස් සංචාරකයන් පිරිසක් මෙරට තුල පිහිටි සුන්දර ස්ථාන නැරඹුමට එහා මෙහා ගෙන ගියහ. ඒ ඔහුගේ රැකියාවයි. ඔහු එයට ආදරය කරයි.
සංචාරක කර්මාන්තය මෙරට ප්‍රචලිත වීමට පෙර සිටම විදේශිකයන් හා ගණු දෙණු කල මේ සොඳුරු මිනිසා දක්ෂ පා පන්දු ක්‍රීඩකයකු ද වේ. මී ගමුව ජුපිටර්ස් පා පන්දු සමාජය නියෝජනය කරමින් තරග කල එම කණ්ඩායමේ පන්දු රකින්නා ලෙසට කටයුතු කල ඇන්ඩෲ සිල්වා, දිනෙක අහම්බයෙන් පීටර් බ්‍රොන්ගර් නැමැති නෙදර්ලන්ත ජාතිකයා හා මිතුරු වන්නේය. ඒ සිය කණ්ඩායම කල ඉල්ලීමකට අනුව පා පන්දු ක්‍රීඩකයන් හට ටී ෂර්ට් ප්‍රදානය කිරීමට පැමිණි දා ඇති කරගත් මිත්‍රත්වයක් හේතුවෙනි.
දෙදෙනාගේ මිත්‍රත්වය මෙරට හා නෙදර්ලන්තය ඇතුළු රටවල් රැසක් අතර සෙනෙහසේ පාලමක් තනන්නට තරම් ශක්තිමත් වේ යැයි ඇන්ඩෲ සිහිනෙකින් වත් නොසිතුවේය. මේ ඔහුගේ කතාවයි.
විවිධ හේතුන් මත මෙරට මව්වරුන් විසින් හදා ගැනුමට භාර දීමෙන් පසු 1980 දශකයේ දී මෙරටින් රැගෙන ගිය දරුවන් ගණන කොතෙක් ද යත් කිසිවකුත් නිශ්චිතවම නොදනිති. තුරුණු වියට පැමිණි මේ දරුවන් සිය දෙමාපියන් සොයා මෙරටට පැමිණෙයි. ඇතැමෙකුට දෙමාපියන් හමුවේ ඇතැමෙකුට හමු නොවේ. පෙන බුබුළු සේ බිඳී යන බලාපොරොත්තු හැරදා යලි සිය රට බලා යන ඔවුන් ගේ දෑස් කඳුලින් තෙමී රක්ත වර්ණයෙන් දිලිසේ ඒ තුල ඇත්තේ අප්‍රමාණ දුකම පමණකැයි ඇන්ඩෲ පවසයි.
සිය නෙදර්ලන්ත මිතුරා වු පීටර් බ්‍රොන්ගර් ගේ මිත්‍රත්වය නිසා මෙරටින් රැගෙන ගිය දරුවන් සොයා දීමට ඇන්ඩෲ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නේ මෙවන් පසුබිමක දීය. සිය විදෙස් මිතුරා වු පීටර්ගේ මිතුරකු වු “මොනොස්මා” විසින් මෙරටින් රැගෙන ගිය දරුවකුට ඔහුගේ මව සොයා දීමට ඩොලර් 400 ක මුදලක් දරුවා ලබාදුන් මෙරට සාත්තු සේවිකාවක් පීටර් ගෙන් ඉල්ලා සිටීමෙන් ඔහු මහත් සේ අසරණව සිටියදීය.
“මම මේ කටයුත්තට යොමු වුණේ අහම්බෙන් ලංකාවට ආව නෙදර්ලන්ත ජාතිකයකුට මෙරටින් රැගෙන ගිය දරුවෙකුගේ මව්පියන් සොයා දීමෙන් පස්සෙ ඒ අය තව තවත් මව්පියන් සොයා දෙන්න කියලා මාව සම්බන්ධ කර ගත්තා. බොරැල්ල ජින්ටෙක් ආයතනයෙන් දෙපාර්ශවයේම ඩී. එන්. ඒ පරීක්ෂා කරලා තමා නිවරදිම මව්පියන් සොයා ගන්නේ ලංකාවේ පළමු වරට ඩී. එන්. ඒ. පරීක්ෂාවක් කරලා දරුවන් සොයා දුන්නේ මමයි. ඒ 2004 වසරේ දී ඉතින් ඔවුන් මාව විශ්වාස කලා මම ඒ අයගේ සැබෑම දෙමාපියන් සොයා දුන් නිසා. ඒ විශ්වාසය හා ඔවුන් ගේ ආදරය මාව මේ කටයුත්තට තව තවත් පෙළඹවුවා. දැන් මම මේක කරන්නේ පුදුම ආසාවකින් ඒ වගේම ස්වේච්ඡාවෙන් අය කිරීමකින් තොරවමයි. මට ඕනේ මේ දරුවන්ට ඔවුන්ගේ ඇත්ත දෙමාපියන් සොයා දෙන්නයි. දෙමාපියන් හමුවුණාම ඔවුන් එකිනෙකා වැළඳ සතුටු කඳුළු හෙළන විට ඒ සෙනෙහස දකින මගේ හදවත බරවෙලා යනවා. උගුර තුල මහා ගුලියක් හිරවෙනවා වගේ වේදනාවක් එනවා. මගේ ඇසට කඳුලක් එන්නේ නොදැනීමයි.” ඇන්ඩෲ සිල්වා සිය හඩ අවදි කරයි.
1980 දශකයේ සිට මේ දක්වා දරු කමට හදා ගැනුමට මෙරටින් රැගෙන ගොස් ඇති දරුවන් ගණන 14,000 ක් හෝ 15,000 ක් පමණ වන්නේ යැයි ඇන්ඩෲ සිල්වා පවසයි. ඔහු මේ වනවිට එවන් දරුවන් 190 දෙනෙකුගේ මෙරට සිටින සැබෑ මව්වරුන් සොයා දීමට ඔහු සමත්ව තිබේ. නෙදර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, බෙල්ජියම, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව හා එංගලන්තය වැනි රටවල ජීවත්වන මේ දරුවන් සඳහා ඔවුන් ගේ මෙරට ජීවත්වන සැබෑ මව සොයා දීම ඉතා අසීරු කටයුත්තක් වු බව ඔහු පවසනුයේ ඒ තුල ද සැඟව පවතින ඛේදනීය අතුරු කතාවක හෝඩුවාවන් ගැන ඉඟි දෙමිනි.
බොහෝ මව්වරුන් සිය දරුවන් කැපකරු විදෙස් දෙමාපියන්ට ලබා දීමේ දී ඉදිරිපත් නොවී සැඟව වෙනත් ගැහැණුන් ලවා දරුවන් ලබා දිමත් ඒ නිසා අසත්‍ය ලියවිලි ඉදිරිපත් වීමත් තුල මේ කාර්යය අසීරු එකක් වි ඇතැයි ඔහු පවසයි. මේ හේතුවෙන් දෙපාර්ශවයේ අයවලුන් ඉදිරිපත් වන්නේ නම් ඩී. එන්. ඒ. පරීක්ෂාවක් නොමිලේ සිදු කරන බවද ඔහු කියයි. ඒ සඳහා නෙදර්ලන්තයේ වාසය කරන ඇමන්ඩා නම් තරුණිය ඩී. එන්. ඒ. පරික්ෂාව නොමිලේ සිදු කර ගැනීමට මේ වනවිට සහය දෙමින් සිටි. ඒ නිසා මේ කටයුතු වඩාත් පහසු වී ඇති බව ඇන්ඩෲ සිල්වා පවසයි.
“අපිට ඩී එන් ඒ පරික්ෂාවක් කරන්න ව සිදුව ඇත්තේ කැපකරු මව්වරු ලඟ තියෙන ඇතැම් ලියවිලි අසත්‍ය ඒවා නිසායි මේ අයට දරුකමට හදාගන්න දීලා තියෙන දරුවන් ලබා දීමට උසාවියට ඉදිරිපත් වෙලා තියෙන්නේ ගොඩාක් වෙලාවට නියම අම්මා නෙවෙයි වෙනත් ගැහැණු අයයි. මේ නිසා දරුවන්ට සැබෑ මව්වරුන් සොයා ගැනීමටත් සැබෑ මව්වරුන්ට දරුවන් සොයා ගැනීමත් මහත් ගැටලුවක් වෙලා තියෙනවා”
ඇන්ඩෲ සිල්වා එසේ කියා සිටියද කුමන බාධක හමුවේ වුවද සිය කාර්ය අතහැරීමට හෙතෙම සුදානම් නැත. මී පුරේ මේ සොඳුරු මිනිසා බොහෝ අභියෝග හා දුෂ්කරතා හමුවේ වුවද තවමත් මේ සෙනෙහසේ පාලම තනමින් සිටිනුයේ දරු සෙනෙහසක සැබෑ අරුත දැන හඳුනාගෙන ඇති මිනිසෙකු ලෙසිනි.