හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේ මුදල් වංචාවක් – මහනුවර වාර්තාකරු

හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නියුතුව සිටි සංවර්න නිලධාරියෙකු විසින් කළ බව කියන රුපියල් එක්කෝටි හතළිස් පන් ලක්ෂයක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ අමරසිරි පියදාස මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.
අදාළ පුද්ගලයා වරද පිළිගෙන රුපියල් එක්කෝටි පන්ලක්ෂයක මුදලක් යළි අධ්‍යාපන කාර්යාලයට ගෙවීමට ද පියවර ගෙන ඇත.
වසර 2012 සිට මොහු මෙම වංචාව සිදුකර තිබෙන බව දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
මොහු වලපනේ ප්‍රාදේශීය සභාවේද මූල්‍ය වංචා සිදුකර තිබෙන බව පොලීසිය පවසයි.
මෙම සේවකයා 2005 සිට 2016 දක්වා හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේ ගිණුම් අංශයේ සේවය කර තිබේ. පසුව 2016 වසරේදී වලපනේ ප්‍රාදේශීය සභාව වෙත ස්ථාන මාරුවක් ලැබ ගොස් තිබෙන මොහු සතියකට දින දෙකක් කළාප අධ්‍යාපන කාර්යාලයේ ගිණුම් අංශයේ සේවය සඳහා අනුයුක්තියක් ලබාගෙන තිබෙන බව දැන ගන්නට ඇත.
පසුගිය ජනවාරි මස මෙම මූල්‍ය වංචාව පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් හඳුනා ගනු ලැබීමෙන් පසු මහනුවර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. වංචාව රුපියල් කෝටිය ඉක්මවා තිබෙන බැවින් ඒ සම්බන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ සිදුකළ යුතු බවට කළ දැනුම් දීමකට අනුව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා අදාළ පැමිණිල්ල සිදුකර තිබේ.
හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේ පරිගණක සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.
ගුරුවරුන්ගේ දේපොළ ණය වාරික බැංකු ගත කිරීමේදී මොහු මෙම වංචාව සිදුකර තිබේ. බිරිඳ ඇතුළු හිතවතුන් කිහිප දෙනෙකුගේ නම් වලින් විවෘත කළ ගිණුම් වලට මුදල් බැර කරමින් වසර ගණනාවක් තිස්සේ මොහු මෙම වංචාව සිදුකර ඇත.