කුණු සල්ලි කළ විල්පොත හරි පුදුම ඉස්කෝලේ.. -කුරුණෑගල චාන්දනී දිසානායක

විල්පොත තාරවිල්ලුව  බණ්ඩාරනායක විදුහලෙන් රටටම පාඩමක්..

හැමෝම එකට එකතු වුණොත් කළ නොහැක්කක් නැතැයි කියමනක් තියෙනවා. ඒ වගේ පාසැලයි ගමයි එකට එකතු වෙලා කළ අපූරු වැඩක් අපිට ආරංචි වුණේ පුත්තලම අධ්‍යාපන කළාපයෙන්.

මේ අපූරු වැඩේට මූලිකත්වය ගත්තේ මුන්දලම විල්පොත බණ්ඩාරනායක ඉස්කෝලේ විදුහල්පති මංජුල සමරජීව මහත්තයා.එතුමා කවදත් අලුත් අදහස් එක්ක ඉදිරියට පියමනින්න වෙර දරන චරිතයක් කියලා නොදන්නේ පාසැල ගැන මොනවත්ම දන්නේ නැති කෙනෙක් විතරමයි. විදුහල්පතිතුමා ගේ මේ අපූරු සංකල්පය යථාර්ථයක් කරවන්න පාසැලේ ගුරුවරුයි ළමයිනුයි ඒ අයගේ දෙමව්පියනුයි එකතු වෙලා වැඩ කළා. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් නෙළා ගත්තා වගේ වැඩක් තමයි ඒකෙන් සිද්ධ වුණේ. එක පැත්තකින් පාසැලෙයි ගමෙයි කුණු සල්ලි වුණා. අනිත් පැත්තෙන් කවදාවත් වාහනයක් නොතිබ්බ ඉස්කෝලෙට රෝද තුනේ වාහනයක් හම්බ වුණා.

ගමයි පාසැලයි ගහයි පොත්තයි වගේ එකතු වුණා.

ගමෙයි පාසැලෙයි එකතු වන කුණු විකුණලා ගත්ත සල්ලි වලින් මුන්දලම විල්පොත බණ්ඩාරනායක විදුහලේ ළමයි ත්‍රීවිල් එකක් ගෙනාවා කියන ආරංචියට අපිත් හිරු උදාවෙන්නත් කලින් ඉස්කෝලෙට ගියා.හැමෝම හිටියේ උද්යෝගයෙන්. නිල් පැහැති ත්‍රිරෝද රථය පාසැලට ඇතුළු වුණේ කන් අඩි පැලෙන්න තරම් සද්දෙන් ළමයි ගහපු අත්පුඩිත් එක්කයි. ත්‍රිරෝද රථයේ මංගල ගමනට මේ වැඩසටහනේ නිර්මාතෘවරයා වූ සමරජීව  විදුහල්පතිතුමත් එකතු වෙලා හිටියා. මේ අපේ සල්ලි වලින් අපි ගත්ත අපේ ත්‍රීවිල් එක කියන හැඟීම හැම දරුවෙක්ගේම හිත්වල තියෙන බව ඔවුන්ගේ මුහුණු වල රැඳී තිබුණු  සිනා රැලි සාක්කි සැපයුවා.

 

අධිෂ්ඨානයයි කැපවීමයි ඇත්නම් ඕනෑම ඉලක්කයක් ජයගන්න පුළුවන්.

එතරම් වත් පොහොසත්කම් නැති දෙමාපියන්ගේ දරුවෝ වැඩි පිරිසක් ඉගෙන ගන්න මුන්දලම විල්පොත බණ්ඩාරනායක ඉස්කෝලෙට ත්‍රිරෝද රථයක් ගෙන ඒම දක්වා වූ වැසටහන හරි අපූරු එකක්. ඒ ගැන කියන්න විදුහල්පති මංජුල සමරජීව  මහත්තයා හඬ අවධි කළේ මේ විදිහට….විල්පොත බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලය කියන්නේ  පුත්තලම අධ්‍යාපන කලාපයෙ තියෙන පුංචි ඉස්කෝලයක්. ඉස්කෝලේ කොච්චර පුංචි වුණත් ගුරවරුයි, ළමයිනුයි, දෙමව්පියොයි එකතු වුණොත් මහා විශාල දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. ගමේ පාසැලේ ඉගෙන ගන්නේ ගමේ මිනිස්සුන්ගේ දරුවෝ. තමන්ගේ දරුවන්ගේ හෙට දවස ආලෝකමත් කරන්න නම් පාසැල හොඳට තියෙන්න ඕන කියලා දෙමව්පියෝ දන්නවා. පාසැල හොඳ වෙන්න නම් පාසැලට පහසුකම් ඕන වෙනවා. අපි මොනවා හරි දරුවන්ට කරන්න කියනවා නම් ඒක කළාම ලැබෙන ප්‍රතිලාභත් ඒ අයට පෙන්නලා දෙන්න ඕන. මම කිව්වා අපි අපේ ගෙවල් වල තියෙන කසළ එකතු කරලා ඒවා විකුණලා ඉස්කෝලෙට වාහනයක් ගමු කියලා. වාහනය මිලට ගන්න එක තමයි අපේ ඉලක්කය. ඒ ඉලක්කයට යන්න නම් අපි කසළ හැකි තරම් එකතු කරන්න ඕන. එහෙම කළොත් තමයි අපිට වැඩි මුදලක් හොයා ගන්න පුළුවන් වෙන්නේ. කසළ අවිධිමත් විදිහට බැහැර කළාම ගොඩක් පාරිසරික ප්‍රශ්න එනවා. ඒ වගේම ඩෙංගු වගේ වෛරස් රෝග ව්‍යාප්ත වෙන්නත් පුළුවන්. අපි හරි විදිහට කුණු ටික කළමනාකරණය කර ගත්තොත් පරිසරයත් ආරක්ෂා කරගන්න පුළුවන් කියන පණිවිඩය මම දරුවන්ට දුන්නා.

එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්.

 

මේ විදහට විදුහල්පති තුමා කළ මග පෙන්වීම ඔස්සේ ගුරුවරු,ළමයි,දෙමව්පියෝ පමණක් නෙවෙයි ගමේ අනිත් අයත් එකට එකතු වෙලා වැඩ කළා. හැම දරුවෙක්ම තමන්ගේ ‍ ගෙවත්තේ තියෙන සියලුම කසළ එක තැනකට පිළිවෙළකට ගොඩ කළා.ඊට පස්සේ දිරාපත් නොවන පරණ යකඩ, පොල් ලෙලි, පොල් කටු, බෝතල්, ප්ලාස්ටික් වගේ දේවල් වෙනම ගොඩකට එකතු කර ගත්තා. හැම ගෙදරකම මේ වගේ දිරන හා නොදිරන ලෙස වර්ග කෙරුණු කසළ ගොඩවල් දෙකක් හැදුනා. මේ එකතු වෙන දිරාපත් නොවන දේවල් සතියේ හැම ඉරිදාවකම ගමේ වාහනයක් තියෙන මාමා කෙනෙකුගේ උදව්වෙන් විකුණන්න අරන් ගියා. ඒත් එක්කම හැමෝගෙම ගෙවල් අවට පිරිසිදු වුණේ ඒ අයටම  හිතා ගන්න බැරි විදිහටයි.

කුණු සල්ලි වුණේ හිතාගන්න බැරි විදිහටයි.

කසළ විකුණලා ලැබෙන මුදල් වලින් තමන් කැමැති කොටසක් පාසැල ගොඩනගන අරමුදලට දෙන්න කියලා විදුහල්පතිතුමා කළ ඉල්ලීමට ගමේ ජනතාව ප්‍රතිචාර දැක්වූයේ පුදුම විදිහට. අරමුදලට සතියෙන් සතිය මුදල් එකතු වුණේ විදුහල්පතිතුමාටත් හිතා ගන්න බැරි විදිහට. ඉස්කෝලේ දරුවන්ගේ උනන්දුව දැකලා විද්‍යාලයට සුබ පතන්නන්ගේ සංසදය කියලා එකකුත් නිර්මාණය වුණේ මේ අතරෙමයි.විදුහලේ ආදි සිසුන්ට,මව්පියන්ට පමණක් නෙවෙයි විදුහලේ දියුණුව දකින්න කැමැති කොයි කවුරුත් මේ සංසදය වටා එකතු වුණා.

ලක්ෂ 2 ½ කට අබලි ත්‍රිවීලරයක්…

තෙල් අර්බුදයත් එක්ක ත්‍රීවිල් එකකින් ගමනක් යන්න බැරි තරමට ගාස්තු ඉහළ ගිය නිසා තියෙන මුදල් යොදවලා ත්‍රීවිල් එකක් පාසැලට ගන්න ඕන කියලා විදුහල්පතිතුමා හිතුවා.ඒ යෝජනවාට හැමෝම කැමැත්ත දුන්නා. ඒ වුණාට ඒ වෙනකොට එකතු වෙලා තිබුණේ රුපියල් ලක්ෂ දෙකහාමාරක් විතරයි. පාසැලේ දරුවෙක් අසනීප වුණොත් කිලෝ මීටර් 20 ක් විතර දුරින් තියෙන  මුන්දලම රෝහලට අරගෙන යන්න ඕන. කලාප මට්ටමින්  වගේම දිස්ත්‍රික් මට්ටමින් පවත්වන ක්‍රීඩා,සාහිත්‍ය, නැටුම් තරඟ වලට ළමයි සහභාගි කරවන්න ගියාමත් හැමදාම ගමන් වියදම් බර දරන්නේ අහිංසක දෙමව්පියන්. මේ සියල්ලටම විසඳුම ත්‍රිරෝද රථයක් ගැනීමෙන් ලැබෙන බව විදුහල්පතිතුමා කල්පනා කළා.

ගම කියන්නේ විවිධ හැකියාවන්  ඇති අයගේ  එකතුවක්..

ඊළඟට මුහුණ දීමට සිදුවූ අභියෝගය ජයගත් ආකාරය කලින් අභියෝගය ජයගත් ආකාරයටත් වඩා සුන්දර එකක්. ඒ ගැන විදුහල්පතිතුමා යළිත් මෙසේ හඬ අවධි කළා….ලක්ෂ දෙකහමාරකට ධාවන තත්ත්වයේ තියෙන ත්‍රීවිල් එකක් ගන්න බැහැ.අපි හැමෝම එකතු වෙලා අබලන් වෙලා ධාවනයෙන් අයින් කරලා තියෙන ත්‍රීවිල් හොයන්න ගත්තා. ඇඹිලිපිටියේ ඒ වගේ ත්‍රීවිල් එකක් තියෙනවා කියලා දැන ගන්න ලැබුණා. අපි ළඟ තියෙන මුදලත් ඒක හොයා ගත්ත විදිහත් කිව්වම ත්‍රීවිල් එක අපිට ලක්ෂ දෙකහාමාරකට දෙන්න ඒකේ අයිතිකරු කැමැති වුණා. ලොරියක පටවාගෙන ත්‍රීවිල් එක ගමට ගෙනවා. ගමක් කියන්නේ හැකියාවන් ගොඩක් එකතු වුණ තැනක්. අපේ ගමෙත් ඉතා දක්ෂ මෝටර් කාර්මිකයෝ,වාත්තු ශිල්පීන්,පින්තාරු කරුවෝ හිටියා. ඉතාම කෙටි කාලයකදී ගමේ අයගේ ශක්තියෙන් මේ ත්‍රීවිල් එක ධාවන තත්ත්වයට ආවා. දැන් ඒකට රුපියල් ලක්ෂ 09 ක ඉල්ලුමක් තියෙනවා. ඒත් ඒක ඒ තත්ත්වයට  ගොඩනගන්න අපි හැමෝම දරපු මහන්සියට මිලක් නියම කරන්න කාටවත්ම බැහැ…

 

 අපි දැන් යන්නේ අපේම ත්‍රීවීල් එකේ..

අද ඉස්කෝලෙට වාහනයක් තියනවා. පහුගිය සතියෙ සිංහල සාහිත්‍ය දින තරඟවල සහතික දිනාගත්තු දරුවෝ හය දෙනෙක් ඒ උත්සවයට ගියේ මේ රථයෙන්. විදුහල්පතිතුමා කියන්නේ තරමක අභිමානයෙන්. සියලු අලුත්වැඩියා කටයුතු නිමා කරලා ත්‍රිරෝද රථය විදුහලට රැගෙන එන අවස්ථාව සුන්දර කරන්න පුත්තලම අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අංශයේ අධ්‍යක්ෂ සුජීවිකා චන්ද්‍රසේකර මහත්මියත් මුන්දලම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාත්, දරුවන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසකුත් ඇවිත් හිටියා.

පාසැලේ තේමා පාඨය යාථාර්ථයක් වෙයි..

ත්‍රිරෝද රථය පාසැලට ඇතුළු වූයේ පසුකරමිනි. එහි පිටුපස දිරිය දිනුමේ මඟය ලෙස සටමන් කර තිබිණි. පාසැලේ ආදර්ශ පාඨයද එයමය. නමට පමණක් ආදර්ශ පාඨ ඇති යුගයක විල්පොත බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිවරයා ගුරු මඩුල්ලත් දරුවනුත් ඔවුන්ගේ දෙමව්පියනුත් සමඟ එකතු වී පාසැලේ ආදර්ශ පාඨය යථාර්ථයක් බවට පත්කර තිබේ.

විදුහල්පති මංජුල සමරජීව  මහතා ද විල්පොත ගම්වැසියෙකි. ඔහු ප්‍රශ්න ප්‍රශ්න ලෙසම තිබෙන්නට නොහැර ඒවාට විසඳුම් සොයන්නට වෙහෙසෙන්නෙකි.පංති කාමරය තුළ සිරවී කරන අධ්‍යාපනය වෙනුවට එළිමයන් පංති කාමර සංකල්පය ඔහු මෙම පාසැලට ගෙනාවේය.ගසක් මැදි කරගෙන නිර්මාණය වී තිබෙන මෙම පංති කාමරය ඉදිවන්නේත් ගුරුවරුන්ගේ හා දෙමව්පියන්ගේ ආශිර්වාදයෙනි.කොවිඩ් සමයේදි මේ පාසැල ඖෂධීය පාන වර්ග බෙදන ඉසිවර අසපුවක් විය. ගංවතුර ගමට එඹිකම් කරත්දී ගමට කෑම බෙදන මූලස්ථානය වූයේද මේ පාසැලය. ඉරටුවක් කඩා දැමීම පහසුය. එහෙත් ඉරටු කිහිපයකින් සැදුණු ඉලපතක් කඩා දැමීම පහසු නොවන්නේය. විල්පොත ගම්වැසියෝ එකට එකතු වී වැඩකර ඒ ශක්තිය අපට පෙන්වා තිබේ.එක්ව වැඩ කිරීමෙන් ඕනෑම ඉලක්කයක් ජයගත හැකි බව ඔවුහූ  විදුහල්පති මංජුල සමරජීව  මහතා හා එක්ව ක්‍රියාවෙන් පෙන්වා තිබේ. දැන් අප කළ යුත්තේ විල්පොත පාසැලේ දරුවෝ අපට කියාදුන දේ පාඩම රටක් ලෙස අනුගමනය කර රට ගොඩ දා ගැනීමට වෙහෙසීමය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed