හන්තානට පායන සඳ නොදකින සරසවි පුත්තු – අසේල ප්‍රියන්ත

මහවැලියටත් වඩා කඳුළු ගංඟාවක් ඉතිරිකර.. මහවැලියේ සැඟව ගිය සරසවි ජීවිත..

 

ලෝකයේ  විශ්වවිද්‍යාල ශ්‍රේනිගත කිරීම් කිරීම් (World University Rankings) අතර ටයිම්ස් උසස් අධ්‍යාපන (Times Higher Education ) ශ්‍රේනිගත කිරීමට ඇත්තේ ඉහළ පිළිගැනීමක්. ඒ අධ්‍යාපනය, පරිසරය, පර්යේෂණ, ජත්‍යන්තර දැක්ම ඇතුළු නිර්නායක ගණනාවක් අදාළ වර්ගීකරණය සඳහා ඔවුන් සලකා බලන නිසා. ලොව විශ්වවිද්‍යාල සම්බන්ධ තොරතුරු සෙවීමේදී ටයිමස් ශ්‍රේනිගත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට සිසුන් පමණක් නොව ආචාර්යවරුද උනන්දු වෙන්නේ මේ නිසා.රටවල් 100 ක පමණ විශ්ව විද්‍යාල දහස් ගණනක් පාදක කරගනිමින් ඔවුන්  2022 වසර සඳහා ලොව හොඳම විශ්ව විද්‍යාල 1800 ක නම් ලැයිස්තුවක් එළිදැක්වූවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලය එහිදී ලොව හොඳම විශ්ව විද්‍යාල 500 අතරට පැමිණියේ පිට පිට තුන්වන වතාවට. මේ නිසා ආසියාවේ හොඳම විශ්ව විද්‍යාල 100 අතරට එන්නත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පුළුවන් වුණා. මේ වගේ සුන්දර පරිසරයක පිහිටලා තියෙන ලෝකයේ පිළිගැනීමට ලක්වූ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට වරම් ලැබීම ඇත්තටම සිසුවෙකුට ලැබෙන වාසනාවක් . ඒත් මේ වාසනාවට පයින් ගහලා ජීවිතයෙන් පළායන සිසුන් නිසා අද අපට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කතා කරන්න වෙලා තියෙන්නේ වෙනදට වඩා වෙනස් කතාවක්.

 

සිසුන් තිදෙනෙක් සියදිවි හානිකර ගනී.

 

පහුගිය මාර්තු මාසේ ඉඳලා මේ වෙනකොට පේරාදෙණිය සරසවියේ ඉගැනුම ලබමින් සිටි සිසුන් තුන් දෙනෙක්ම සියදිවි නසා ගත්තා. ඒ අතරින් දෙන්නෙක්ම අධ්‍යාපනය ලබමින් හිටියේ ඉංජිනේරු පීඨයේ. කලා පීඨයේ අවසන් වසරේ සිසුවෙකුත්  පසුගිය දිනක මහවැලි ගඟට පැනලා සියදිවි හානිකර ගත්තා. සරසවි ශිෂ්‍යයෝ ඇයි මේ විදිහට ජීවිතයෙන් පළා යන්නේ කියලා හැමෝටම ප්‍රශ්නයක් වුණා. උපකුලපතිවරයා මනෝ උපදේශන සේවාවක් ද විශ්වවිද්‍යාලය තුළ ආරම්භ කළේ සිසුන්ගේ ප්‍රශ්න මොනවද කියලා අහලා තේරුම් ගෙන ඒවාට විසඳුම් දෙන්න ඕන කියලා හිතා ගෙනයි. ඒත් පසුගිය 02 වැනිදා  යළිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුවෙක් අතුරදන් වුණා. සියදිවි හානිකර ගත් සිසුන් තුන්දෙනා අතරින් දෙන්නෙක්ම මිය යන්න කලින් ලිපි ලියලා තිබුණා. මේ පීඩනය දරා ගන්න බැහැ කියන කාරනය තමයි ඒ අය ඉස්මතු කරලා තිබ්බේ.

මළ සිරුරු ගන්නෝරුවෙන් හමුවේ..

ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ විභාගයේ අවසන් ප්‍රශ්න පත්‍රයට පෙනී ඉන්නට සිටිත්දී තමයි පහුගිය මාර්තු මස 29 වැනිදා ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ ශිෂ්‍යයෙක් සේනක බිබිලේ නේවාසිකාගාරයේදී ගෙළ වැලලාගෙන තිබුණේ. ඊට මාස පහකට පස්සේ අගෝස්තු  27 වැනිදා ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ සිසුවෙක් පේරාදෙණිය පාලමෙන් මහවැලි ගඟට පැන්නා. ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි නුවන් ලක්ෂිත දේවසුරේන්ද්‍ර නැමැති මෙම සිසුවා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙක්. ඔහුගේ මළ සිරුර ගන්නෝරුව ප්‍රදේශයෙන් හොයා ගත්තේ ගඟට පැනලා දින පහකට පස්සේ. හදුනාගන්නවත් බැරි තරමට මළ සිරුර නරක් වෙලා තිබුණේ. ඒ මරණයේ කම්පනය මැකී යන්නත් කලින් සැප්තැම්බර් මස 16 වැනිදා ශාස්ත්‍ර පීඨයේ අවසන් වසරේ සිසුවෙක් අතුරුදන් වුණා. අංජන කුලතුංග නැමැති මේ සිසුවා තමන් තුළ ඇති දැඩි පීඩනය දරා ගැනීමට නොහැකි බැවින් සියදිවි හානි කරගන්නා බව සඳහන් කරලා ලිපියක් ලියලා තිබුණා. යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු ශාස්ත්‍ර පීඨයේ මනෝවිද්‍යා දෙපාර්තමේනතුවේ මනෝවේදී විශේෂ උපාධිය හදාරමින් සිටි සිසුවෙක්. අංජනගේ සිරුරත් හම්බ වුණේ එයා ගඟට පැනලා දවස් පහකට පස්සේ.එක දිගට සිදුවූ මේ සිදුවීමේ පෙළේ ආසන්නතම සිදුවීම ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුවෙක් හිටිහැටියේ අතුරුදන් වීමයි. පසුගිය 02 වැනිදා මේ සිසුවා නේවාසිකාගාරයෙන් පිටවෙලා තිබුණෙත් පීඩනය දරා ගන්න බැහැ කියලා ලියුමක් ලියා තියලයි.

 

සිත් තැවුල් දරාගත නොහැකි දරුවෝ…..

පාසැල් අධ්‍යාපනය කාලේ දරුවෝ ඉන්නේ දෙමව්පියන් තුරුළේ.තමන් හොඳින් දන්නා වටපිටාවක ජීවත් වෙන දරුවා විශ්වවිද්‍යාලයට ආවම ඒ පිරිසරය එයාට අමුතුයි. ඒකට හුරු වෙන්න කාලයක් ගත වෙනවා. සමහරු දරුවන්ට මේ වෙනස්කම දරාගන්න අමාරුයි. මේ නිසා දරුවෝ මානසික වශයෙන් කඩා වැටෙන අවස්ථා තිබෙනවා. අවුරුදු 18-25 කියන්නේ පුද්ගලයෙකුගේ බොහොම අවධානම් කාලයක්. මේ කාලයේදී දරුවෝ ගොඩක් ආතති තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන්. උසස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ මානසික සෞඛ්‍ය ගැන දියුණු රටවල් විශේෂ අවධානයක් යොමු කරනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී චන්දිමා හේරත් මහත්මිය පවසන්නේ එවන් කතාවක්.

 

 මනෝ උපදේශනයට සති පහකදී සිසුන් 140 දෙනෙක්..

සිසුන් දිවිනසා ගැනීමේ සිදුවීම් වැඩිවීමත් එක්ක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය එම්.ඩී ළමාවංශ මහතා මනෝ උපදේශන සේවා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය පසුගිය අගෝස්තු මාසේ මේ වැඩසටහන් ආරම්භ කරලා සති පහක දී සිසු සිසුවියන් 140 දෙනෙකු මනෝ උපදේශන ලබා ගැනීමට පැමිණ තිබෙනවා. මේ අය අතරින් 12 දෙනෙකු විතරම රෝහල් ගතකරලා ප්‍රතිකාර ලබා දෙන්න සිදුවුණා කියලා වෛද්‍ය චන්දිමා පවසනවා. ඒ අතර තමන්ගේ ජීවිතය නැති කරගන්න උත්සහ කළ අයත් හිටියා කියලා තමයි දැන ගන්න තියෙන්නේ. සිසුවෙකුගේ මනස රෝගී වී ඇත්නම් එය කල්තියා හඳුනා ගැනීම අත්‍යවශ්‍යය කාරණයක්. එවැනි අය හඳුනා ගන්නා ආකාරය පිළිබඳව  මනෝ වෛද්‍ය විශේෂඥ සයුරි පෙරේරා මහත්මිය විසින් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මේවන විට විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක කරමින් සිටිනවා. මනෝ උපදේශන සේවාවේ පිහිට සොයන සිසුන්ගේ ගණන ඉහළ යෑමට මෙම දැනුවත් කිරීමේ වැඩසටහනුත් ලොකු පිටුබලයක් වී තිබෙනවා.

 

හුරු පුරුදු පරිසරයෙන් මිදීම ආතතියට එක් හේතුවක්.

සිසුන් ආතති තත්ත්වයට පත්වෙන්න හේතු වන ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධව මනෝ වෛද්‍ය විශේෂඥ සයුරි පෙරේරා කියන්නේ මේ වගේ කතාවක්. තමන්ට හුරුපුරුදු පරිසරයෙන් මිදිලා වෙනස්ම පරිසරයකට පැමිණීම නිසා සිතේ ඇතිවන පීඩාව එකක්. විභාග සම්බන්ධව තිබෙන ගැටලු දෙවැන්නයි.තුන්වන කාරණය ආදර සම්බන්ධතා හා වෙනත් සම්බන්ධතා නිසා හට ගන්න ගැටලුයි. සමහර දරුවන්ගේ මේ ආතතිය දරා ගන්න පුළුවන් සීමාව ඉක්මවා යනවා. එතකොට මේ අය විශාදය  තත්ත්වයන්ට පත් වෙනවා. විශාදය හැදුණු දරුවෙක් වෙනදා වගේ කතාබහ කරලා ඉන්නේ නැහැ. එයා කලින් ආසාවෙන් කරපු දේවල් අත්හරිනවා. නින්ද අක්‍රමවත් වෙනවා. මතක හිටින්නේ නැති ගතියක් ඇති වෙන්න පුළුවන්. තරහා යනවා. හැම දෙයක් දිහාම ඍණාත්මකව බලනවා. මෙවැනි තත්ත්වයක ඉන්න දරුවෙක් මුලින්ම හදුනා ගෙන ප්‍රතිකාර ලබා නොදුන්නොත් එයාට  ජීවිතයට හානි කරගන්න ඕන කියන සිතුවිල්ල පහළ වෙන්න පුළුවන්. නියම විදිහට ප්‍රතිකාර ගත්තොත් මේක 100% ක්ම සුව කරන්න පුළුවන්.

 

යාළුවාගේ ප්‍රශ්නය හඳුනා ගන්න සහෝදර සිසුන්ට වගකීමක් තියෙනවා..

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී ළමාවංශ මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

සහෝදර ශිෂ්‍යයින්ට තියෙනවා වගකීමක් තමන්ගේ යාළුවාට මොනවා හරි ප්‍රශ්නයක් තිබෙන බව දැනෙනවා නම් ඒ ගැන අවධානය යොමු කරන්න. මෙතනදී මාධ්‍ය වලටත් ලොකු සේවයක් කරන්න පුළුවන්. සියදිවි හානිකර ගැනීම් පිළිබඳව සමාජ කතිකාවක් ඇති කරන්න දැන් කාලය එළඹිලා. සරසවි සිසුවෙක් සියදිවි හානිකර ගත්තම ඒ සිදුවීමේ කම්පනය පවුලට ළඟම යාළුවන්ට විතරක් නෙවෙයි සියලු සිසුන්ටත් ආචාර්යවරුන්ටත් දැනෙනවා. අපි පුළුවන් තරම් උත්සහ කරන්නේ මේ දරුවන්ගේ ප්‍රශ්න වලට ඇහුම් කන් දෙන්නයි.

 

සමාජයේ සියලු දෙනාම ඉන්නේ ආතති මට්ටමක..

කොවිඩ් නිසා පහුගිය කාලය පුරා විශ්වවිද්‍යාල වසා තිබුණා. සිසුන්ට තමන්ගේ හිතමිතුරන් වත් හමුවන්න පසුබිමක් තිබුණේ නැහැ. මේකත් එක්තරා විදිහකට සිසුන් තුළ මානසික පීඩනය වැඩි වෙන්න හේතුවක් කියලා මනෝ වෛද්‍ය විශේෂඥ ඩබලිව්.ඒ.එල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෑත කාලයේ රටේ ඇතිවී තිබෙන සමාජ, ආර්ථික අර්බුද නිසා හැම දෙනාම ඉන්නේ යම්කිසි මානසික පීඩනයකින්. පුද්ගලයින් තුළ ආතතිය වැඩි කිරිමට හේතුවන කාරනා හැම මොහොතකම ඉස්මතු වෙනවා. අපි හිතමු සියදිවි නසා ගැනීමට පෙළෙඹෙන අවස්ථාව 100 යි කියලා. බිංදුවේ සිට 100 ට යන්න දුර වැඩියි. සමාජයේ ලොකු අර්බුද නැත්නම් අපි හැමෝම ඉන්නේ බිංදුව කියන අගයේ කියලා හිතන්න පුළුවන්. දැන් අපි දවසින් දවස පැන නගින ප්‍රශ්න හමුවේ ඇත්තටම අද අපි ඉන්නේ ආතතිය අතින් බිංදුවට වඩා ඉහළ අගයක. පුංචි සිද්ධියක් නිසා අපේ සිත වෙනස් වෙලා 100 කියන අගයට ළගා වෙන්න ගත වෙන්නේ පොඩි වෙලාවක්. මාධ්‍ය මේ සියදිවි නසා ගැනීම් වාර්තා කරන ආකාරය ගැන ප්‍රශ්නයක් තිබෙනවා. ඇතැම් මාධ්‍ය ආචාර ධර්ම අමුඅමුවේ උල්ලංඝනය කරනවා. අතුරුදන්වූ සිසුන් මියගිය බව දැන ගන්නටත් කලින් ඒ අය ලියා තිබුණු ලිපි මාධ්‍ය මගින් රටටම අනාවරණය කළා. කෙනෙකුගේ පෞද්ගලිකත්වය මේ විදිහට හෙළි කිරීමෙන් සියදිවි හානි කරගන්න  හිතන්නේ නැති කෙනෙකු වුණත් ඒ සඳහා යොමු වෙන්න පුළුවන්.

 

සියදිවි නසා ගැනීමේ ලෝක වාර්තාවත් ලංකාවට.. 

ක්‍රිකට් ලෝක කුසලානය 1996 දී අපි දිනා ගනිමින් ලෝකයේම අවධානය දිනා ගනිත්දී එ අවුරුද්දේ දීම අපි තවත් පැත්තකින් ලෝකයේම අවධානයට ලක්වුණා. ඒ ලෝකයේ වැඩිම සියදිවි නසා ගැනීම් වාර්තා වන රට විදිහට. ඒ අවුරුද්දේ ජනගහණය ලක්ෂයකට සියදිවි නසා ගැනීම් 45 ක් අපේ රටෙන් වාර්තා වුණා. මේ ආකාරයෙන් ඉතා ඉහළ අගයක් දක්වා මෙරට සියදිවි නසා ගැනීම් ඉහළ යාමටත් පසුව සැලකිය යුතු ලෙස එම අගය පහළට ගෙන ඒමටත් මාධ්‍ය මගින් එල්ල කළ බලපෑම සුළුපටු නැහැ. කොහොම වුණත් දැන් අපේ රටේ මේ අගය තිබෙන්නේ 14.5 ක් වගේ අගයක. ජාත්‍යනතර මට්ටමින් මෙහි සාමාන්‍යය අගය ලෙස සලකන්නේ 11.5 ක්. අපි ඊට ටිකක් ඉහළින් හිටියත් අද ඉන්න තත්ත්වය ඒ තරම්ම නරක නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed