ඉන්ධන වල ප්‍රමිති වාර්තාව හෙට නිකුත් කරයි – මහනුවර වාර්තාකරු

ඉන්ධන වල ප්‍රමිතිය සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණික ආයතනය වෙත යොමුකළ සාම්පල වලට අදාළ වාර්තාව හෙට (12) ලැබෙනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ඔක්ටේන් 95 බව කියමින් ඇතැම් ඉන්ධන පිරවුම් හල් වලින් ඔක්ටේන් 92 පෙට්ට්‍රල් නිකුත් කරන බවට ලද මහජන පැමිණිලි සැලකිල්ලට ගෙන ඉන්ධන වල ප්‍රමිතිය සොයා බැලීම සඳහා සාම්පල් තාක්ෂණික ආයතනයට යොමුකළ බවත් අදාළ චෝදනා වල සත්‍ය අසත්‍යතාව වාර්තාව මගින් හෙළිවනු ඇති බවත් ඒ මහතා කීය.
පසුගියදා මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ජනක රත්නායක මහතා මෙසේද පැවසුවේය.
ඉන්ධන පිරිවුම් හල්වල සිදුවන බව කියන අකටයුතු කම් පිළිබඳව පසුගිය මාස දෙක තුළ පැමිණිලි 200 කට වඩා ලැබුණා. පාරිභෝගික සේවා අධිකාරියත් මේ සම්බන්ධව පැමිණිලි කළා.පරිභෝගික සේවා අධිකාරියෙන් ලැබුණු පැමිණිල්ලක් මත පසුගිය දිනක වැල්ලවායේ ඉන්ධන පිරිවුම් හල් පරික්ෂා කළා. එක් ඉන්ධන පිරවුම් හළක පොම්ප අටක් තිබුණා. ඒ අටෙන්ම ඉන්ධන නිකුත් කෙරුනේ නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන්. ඉන්ධන ලීටරයක් මිලට ගන්නා පාරිභෝගිකයෙකුට සැබෑ ලෙසම ලැබී තිබුණේ තමන් ගෙවූ මුදල් වටිනාකමට අඩු ඉන්ධන ප්‍රමාණයක්.සෑම ලීටරයකින්ම පාරිභෝගිකයින්ට රුපියල් 05 ක පාඩුවක් සිදුව තිබෙන බව අපට පෙනී ගියා. ඉන්ධන ලීටර් 20 ක් ලබා ගන්නා සෑම පාරිභෝගිකයෙකුටම රුපියල් 100 ක පාඩුවක් සිදුව තිබුණා. ඒ අසීමිත ලාභය ගොස් තිබුණේ ඉන්ධන පිරිවුම් හලේ හිමිකරුටයි. මේ අසීරු අවස්ථාවේ ව්‍යාපාරිකයින් තමන්ගේ වෙළෙඳාම සාධාරණව නොකළොත් අසීරුතාවට පත්වන්නේ ජනතාවයි.
ඉන්ධන පිරිවුම් හළක පොම්ප හා යන්ත්‍ර මාස 06 කට වතාවක් පරීක්ෂා කරන්න ඕන. වසර දෙකකින් යන්ත්‍ර පරීක්ෂා කර නොතිබූ පිරවුම් හළක් අපිට පින්නවල ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂාවකදී හඳුනා ගන්න ලැබුණා. මේ ගැන සාකච්ඡා කරන්න අයි.ඕ.සී හා සිපෙට්කෝ ආයතන ප්‍රධානීන්නට අපි එන්න කියලා තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *