විහාරස්ථාන වල විදුලි බිල සඳහා සහනයක් – මහනුවර වාර්තාකරු

විහාරස්ථාන වල විදුලි බිල සඳහා සහනයක් ලබාදෙන බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඉදිරියේ කළ ප්‍රකාශය පිළිබඳ විශ්වාසය තබා පන්සල් අඳුරේ තැබීමේ වැඩපිළිවෙළ තාවකාලිකව නතර කළ බවත් කුමන හෝ ආකාරයකින් මහා සංඝරත්නය රැවවීමට උත්සහ කළහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික,ගෙළිඔය කරමඩ ශ්‍රී වේළුවනාරාමාධිපති ගලහ සිරිසාන්ත හිමියෝ පවසති.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ විශේෂ කාරක සංඝ සභාවක් ඊයේ (09) මහනුවරදී කැඳවා තිබූ අතර ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
එහිදී සිරිසාන්ත හිමියෝ මෙසේද කීහ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා මහනායක හිමිවරු සමඟ සාකච්ඡා කරලා පවිහරස්ථාන වල විදුලි බල 50 % කින් අඩු කරන බවට පොරොන්දුවක් ලබාදී තිබෙනවා. අපේ රටේ පොරොන්දු පිළිබඳ අපිට එතරම් විශ්වාසයක් නැහැ. නමුත් සභාපතිවරයා මහනායක හිමිවරු ඉදිරියේ ප්‍රකාශනයක් කළ නිසා අපේ තීන්දු මදක් පස්සට ගන්නවා. විහාරස්ථාන වල විදුලි බිල 50 % කින් අඩු වෙනවා කිව්වට ඒක ලොකු සහනයක් නෙවෙයි. විහාරස්ථාන වල විදුලි ඒකකයකට රුපියල් 1.70 ක් තමයි අය කළේ. ඒක රුපියල් 75 ක් දක්වා වැඩි කරලා දැන් යළිත් රුපියල් 35 ක් දක්වා අඩුකර තියෙනවා. රුපියල් 1.70 යි රුපියල් 35 යි අතර වෙනස කොච්චරද කියලා කාටත් අවබෝධ කර ගන්න පුළුවන්. මාසික විදුලි පරිභෝජනය ඒකක 180 ට වැඩි ඒවට තමයි මේ අඩු කිරීම බලපාන්නේ.එයින් ගම්‍ය වෙන්නේ අඩුවෙන් පාවිච්චි කරනවාට දඩයක් ගහනවා කියන එකයි. සහනය ගන්න නම් වැඩියෙන් පාවිච්චි කරන්න වෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කාමර තිස්පහක හෝටලයක විදුලි බිලයි පන්සලක විදුලි බිලයි සන්සන්දනය කරලා පන්සලේ විදුලි බිල වැඩියි කිව්වා. ඒ විදුලි බිල රුවන් වැලි සෑය ද ජයසිරිමා බෝධිය ද නැත්නම් කොළඹ ගංගාරාමයේද කියලා අපිට සැකයි. ඒ පූජනීය ස්ථාන වල විදුලි බිලට ගමේ අහිංසක පන්සලේ විදුලි බිලට සමාන කරලාද කියන සැකය අපිට තිබෙනවා. හුණුපිටිය ගංගාරාමය ගත්තොත් රජයක් කළ යුතු කාර්යභාරට එහාගිය සමාජ සේවාවක් කරනවා. නිලධාරීන් සහ කිසිදු ආගමක් ජාතියක් පිළිබඳ හැඟීමක් නැති දේශපාලනඥයින් පන්සලේ නමවත් නොකියා කරන මේ අත්තෝනමතික ප්‍රකාශ වලින් බලාපොරාත්තු වෙන්නේ ශාසනවිරෝධි සමාජයක් ගොඩ නැගීමද කියලා අපි අහන්න කැමතියි. නිලධාරියෙක් ලෙස අවංක ප්‍රකාශයක් කළේ යැයි සිතා කඨින චීවර මාසයේ පොහෝ දිනයේ සිට නවතනවා. පිං පෙට්ටියට ගැහුවේ රට ගොඩ නගන්න කියලා කියනවා. විදුලි බිල් ගෙවන්න තියෙන බවට මැති ඇමැතිවරුම චෝදනා එල්ල කර ගන්නවා. අපි ඒ අයට කියනවා සුදුවතින් සැරසී දෑත් පිරිසිදු කරගෙන එන්න පන්සලේ පිං පෙට්ටියේ තිබෙන අවසාන සතය දක්වා රට ගොඩනගන්න දෙන්න අපි සූදානම් කියන පණිවිඩය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed