අංගම්පොර සඳහා නිත්‍යානුකූලභාවය ලබා දීමට ඉල්ලීමක් – මහනුවර වාර්තාකරු

මෙයට වසර 204 කට පෙර ඉංග්‍රීසි පාලකයින් විසින් තහනම් කරන ලද මෙරට පාරම්පරික සටන් කලාවක් වන අංගම්පොර සඳහා ගැසට් පත්‍රයක් මගින් යළි නිත්‍යානුකූලභාවය ලබාදෙන ලෙස කොරතොට අංගම්පොර පරපුරේ මොහන්දිරම් අජන්ත මහන්තආරච්චි මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.
උඩරට ගිවිසුමේ කොන්දේසි කඩ කිරීම මූලික කරගනිමින් 1818 දී ආරම්භ කළ නිදහස් සටනේදී ඉංග්‍රීසීන්ට විරුද්ධව පාරම්පරික අංගම්පොර ශිල්පීන් දැක්වූ දක්ෂතා පිළිබඳව බියට පත්ව ඔවුන් එම වසරේ ඔක්තෝම්බර් මස 07 වැනි දින ගැසට් පත්‍රයක් මගින් අංගම් සටන් කලාව තහනම් කර තිබේ. බ්‍රිතාන්‍යය පාලකයින් එදා කළ තහනම මෙතෙක් ඉවත්කර ගැනීමට නොහැකි වී තිබෙන බවත් දැන් හෝ එම වරද නිවැරදි විය යුතුව තිබෙන බවත් මහන්තආරච්චි මහතා පවසයි.

අංගම් සටන් කලාව මෙරට තහනම් කළ දිනය නිමිත්තෙන් පසුගිය 07 දින ශ්‍රී දළදා මාලිගාවට පැමිණි කොරතොට ආරච්චි අංගම් පොර මඩුවේ ශිල්පීන් හා ශ්‍රී ගුවන් හමුදාවේ අංගම් ශිල්පීන් අංගම් මොහන්දිරම්ගේ කොඩිය එහිදී පේ කොට දළදා වහන්සේ හමුවෙහි පිරිත්කොට ආශිර්වාද ගන්වනු ලැබීය. මෙරට පාරම්පරික අංගම් සටන් කලාව ජාතික ක්‍රීඩාවක් දක්වා රැගෙන යාමට කාලය එළඹ තිබෙන බවත් ඒ සඳහා මුලින් මෙහි නිත්‍යානුකූල භාවය තහවුරු කළ යුතුව තිබෙන බවත් මහන්තආරච්චි මහතා කීවේය.

මහනුවර ඇහැලේපොල වලව්වේදී අංගම් සටන් සංදර්ශනයක් පැවැති අතර එම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ දියඩවන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු ගිහි පැවිදි පිරිසක් සහභාගි වූහ.
එහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආන්නද නාහිමියෝ අපේ මුතුත් මිත්තන් එදා 1818 දියත් කළ නිදහස් සටන පහසුවෙන් පරාජය කරන්නට හැකි වෙතැයි ඉංග්‍රීසීන් සිතුවත් ඔවුන්ට එහිදී පාරම්පරික අංගම් සටන් ශිල්පීන්ගේ දක්ෂතා නිසා නොසිතූ අභියෝග වලට මුහුණ දීමට සිදුවූයේ යැයි පැවසූහ.

ඉංග්‍රීසීන් විසින් එදා ඔවුන්ට අභියෝගයක් වූ නිසාම තහනම් කළ අංගම් සටන් කලාව නිදහසින් පසු යළි ඉස්මතු කරමින් නූතන පරම්පරාව වෙත දායාද කරන්නට කොරතොට අංගම්පොර පරම්පරාව කරන්නාවූ කැපවීම අගය කරන බවද ආනන්ද නාහිමියෝ ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *