ශ්‍රී ලංකාවට එරෙහි ජීනීවා යෝජනා වැඩි ඡන්ද 13 සම්මත වෙයි – බර්නාර්ඩ් එදිරිසිංහ

( ජීනීවා – ඔක් 06) එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසි වාරය අවසානයේ දි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කොට තිබු යෝජනාව වැඩි ඡන්ද 13  කින් සම්මත වු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. බ්‍රිතාන්‍ය, ඇමරිකාව, කැනඩාව ඇතුළු රටවල් 30 ක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට පක්ෂව ඡන්ද 20 ක් පාවිච්චි කළ අතර තවත් සාමාජික රටවල් 20 ඡන්දය පාවිචිචි කිරිමෙන් වැළැකි සිටියහ. යෝජනාවට  විපක්ෂව ඡන්දය පාවිචිචි  කොට තිබුණේ රටවල් 7 ක් පමණි.

ජපානය හා ඉන්දියාව ඡන්දය දිමෙන් වැළැකි සිටීම කැපි පෙනුණ බව ජාත්‍යන්තර විචාරකයින් ගේ අදහස විය.

‘ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ යනුවෙන් හැඳින්වු යෝජනාව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහා බ්‍රිතාන්‍ය විසින් මෙම යෝජනාව එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් ‌කොට තිබිණ.

විශේෂයෙන්ම මෙම යෝජනාවේ 8 වන වගන්තියට ශ්‍රී ලංකාව සිය විරුද්ධත්වය පළ කරන ලදි. එම වගන්තියට අනුව,  වගවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්  ආශ්‍රිත අපරාධ සම්බන්ධ සාක්ෂි සංරක්ෂණය කිරීමේ සහ විශ්ලේෂණය කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකාවට පිළිගැනීමට යෝජනා කොට තිබු අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා තොරතුරු සහ සාක්ෂි එකතු කිරීම, ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය සහ සංරක්ෂණය කිරීම සහ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටීමට මහ කොමසාරිස් කාර්යාලයේ හැකියාව වර්ධනය කිරීම ව අදාළ අධිකරණ සහ අනෙකුත් ක්‍රියාදාමයන්ට ශ්‍රී ලංකාව සහාය වීම ඉන් බලාපොරොත්තු විය.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි දකුණු ආසියාවේ නියෝජ්‍ය කලාපීය අධ්‍යක්ෂ දිනුෂිකා දිසානායක මහත්මිය ප්‍රකාශයක් නිකුත් කරමින්, “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සම්මත කිරීමෙන් ශ්‍රී ලංකාව පිළිබඳ අඛණ්ඩ ජාත්‍යන්තර විමර්ශනයක අවශ්‍යතාවය පිළිබිඹු වේ. එම යෝජනාව ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිවැරදි දිශාවට තබන ලද පියරවක් ලෙස හැඳින් වු ඇය රට මුහුණ දී සිටින බරපතල ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් පැන නගින මානව හිමිකම් කඩකිරීම් ඇතුළු පුළුල් පරාසයක මානව හිමිකම් කඩකිරීම්වලට පිළියම් යෙදිය හැකි විශේෂඥ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා සිවිල් සමාජ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට කවුන්සිලය අසමත් වු බව ද ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *