පුජනිය ස්ථාන වලට විදුලියෙන් සහනයක් – මහනුවර වාර්තාකරු

පූජනීය ස්ථාන වල විදුලි ගාස්තු දරා ගැනීමට නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙන බවට ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන පූජනීය ස්ථාන පුණ්‍යාතන කාණ්ඩයෙන් ඉවත්කර පොදු කාර්යයකාණ්ඩයට ඇතුළත් කිරීමට පියවර ගත් බවත් ඒ අනුව ඒකකයට අය කළ මුදල රුපියල් 75 සිට 32 දක්වා අඩුවීම තුළින් පූජනීය ස්ථාන වලට සැලකිය යුතු සහනයක් ලැබෙනු ඇති බවත් මහජන උපයෝගිතා කොමසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
අදාළ තීරණය පිළිබඳව මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමට දැනුම් දීම සඳහා  (08) මහනුවරට පැමිණි අවස්ථාවේ රත්නායක මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
පූජනීය ස්ථාන මගින් දහම්  පාසල් පැවැත්වීම වැනි පොදු කටයුතු සිදුකරන බැවින් එය සැලකිල්ලට ගෙන ඒවා පොදු කාර්යය යටතට ඇතුළත් කිරීම කිසිදු ගැටලුවක් නොවන බවද ඒ මහතා කීය.
පසුගිය අගෝස්තු මස 08 වැනි දින සිට ක්‍රියාත්මක කළ විදුලි ගාස්තු වැඩි කිරීමේ ක්‍රමවේදයට අනුව පූජනීය ස්ථාන වල විදුලි ගාස්තුව 550 % කින් ඉහළ ගිය බවද සභාපතිවරයා පැවසුවේය.

පසුගිය අගෝස්තු මස 08 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පොදු කාර්ය යටතේ වන ගාස්තු ක්‍රමය යටතට පූජනීය ස්ථාන හා පුණ්‍යායතන පත්කර ඊට අදාළ මිල ගණන අය කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබෙන බවත් ඒ අනුව පසුගිය විදුල් බිල් පත මගින් අය කළ ගාස්තු ද ඊට සමානුපාතිකව අඩුකරනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

නව ක්‍රමවේදය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයත් සෙසු ආගමික පූජකතුමන්ලාත් පිළිගනු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා කීය.
පුණ්‍යායතන කාණ්ඩය යටතේ ආගමික ස්ථාන ඇතුළු ආයතන 48000 ක් පමණ ඒ යටතේ ලියාපදිංචිව තිබෙන බවත් ඇතැම් ඒවා ඒ යටතේ ලියාපදිංචි කර තිබෙන්නේ විදුලි බිල සඳහා ලබාදී සහනය නිසාම බවත් සභාපතිවරයා පැවසුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *