තෙල්දෙණිය බස් නැවතුම් පොල ආණ්ඩුකාරවරයාගේ නීරීක්ෂණයට – නිමල් කොළඹිස්ස – මහනුවර

ඉදිකිරීම් ප්‍රමාදවී ඇති තෙල්දෙණිය නගරයේ බස් නැවතුම් පොල හා වෙළඳ සංකීර්ණය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ නීරීක්ෂණයට පසුගියදා (06) ලක්විය.

මහවැලි ව්‍යාපාරයේ වික්ටෝරියා ජලාශය ඉදිකිරීමත් සමඟ පැරණි කරල්ලියද්ද නගරය ජලයෙන් යටවීම නිසා ඊට නුදුරුව තෙල්දෙණිය නව නගරය ස්ථාපිත කෙරණි. එම නගරය පුළුල් කොට පහසුකම් සැපයීමේ වැඩසටහනක් යටතේ මහවැලි අමාත්‍යංශයේ මැදිහත්වීම මත මෙම බස් නැවතුම් පොල හා ව්‍යාපාරික සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ විය. නමුත් විවිධ හේතු මත ඇණහිට ඇති ඉදිකිරීම් ආණ්ඩුකාරවරයාගේ නීරීක්ෂණයට ලක් වූ අතර විවිධ ආයතන අතර පවතින ගැටලු නිරාකරණය කර ගැනීම කඩිනම් කළ යුතු බව ඒ මහතා අදාල නිලධාරීන්ට එහිදී උපදෙස් දුන්නේය.

ඒ අනුව තෙල්දෙණිය පුද්ගලික හා ලංකා ගමනාගමන මණ්ඩලයේ නැවතුම් පොල, බස් රථ ගාල සහ දෙමහල් ව්‍යාපාරික සංකීර්ණයේ ඇණහිට ඇති ඉදිකිරීම් අවසන් කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි.

අදාල විෂය භාර අමාත්‍යවරුන් හා අදාල ආයතන ඉදිරි දිනකදී කඩිනමින් සම්බන්ධීකරණය කිරීමට මෙම නීරීක්ෂණයේදී තීන්දු වූ අතර එමගින් දීර්ඝ කාලයක් නොවිසදී ඇති ගැටලු සඳහා ස්ථීර විසදුම් ලබා දිය හැකි යැයි ද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය. මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති අශෝක සමරකෝන් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සහ පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed