නිවසක් බිඳ මුදල් සොරගත් පුද්ගලයෙක් අත්අඩංගුවට – මහනුවර වාර්තාකරු

මහනුවර රජ වීදියේ නිවසක් බිඳ රන් පවුම් හතක් සහ රුපියල් ලක්ෂ දෙකක විදේශ මුදල් සොරගත් පුද්ගලයෙකු ඔහුගේ සපත්තු අඩි සලකුණකින් හඳුනා ගැනීමට මහනුවර පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත්ව ඇත.
නිවස බිඳ මුදල් හා රන් අභරණ සොරාගත් බවට නිවැසියන් කළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එහි පරීක්ෂණ සිදුකළ අවස්ථාවේ සැකකරු පැමිණ විමර්ශන වලට සහයෝගය ලබාදුන් බව පොලීසිය පැවසීය.
නිවැසියන් යාපනය ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් සිටියදී සැකකරු පසුගිය 04 දින නිවසේ ඉදිරිපස දොර කඩා ඇතුළු වී මුදල් හා රන් අභරණ සොරාගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
නිවසේ ටයිල් මත තිබූ සපත්තු අඩියක් සම්බන්ධයෙන් විමසිලිමත්වූ පොලීසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් සිටියදී සැකකරු නිවස තුළට පැමිණ ඇත. වැසි දිනයක් වූ එදින සැකකරු ටයිල් මත ඇවිද යත්දී පොලීසිය ඔහුගේ සපත්තුවේ අඩි සලකුණු සම්බන්ධයෙන් සැකකරුට නොදැනෙන සේ පරීක්ෂා කර තිබේ.
එහිදී නිවස බිඳ මුදල් හා රන් අභරණ සොරාගත් පුද්ගලයා පැළඳ සිටි සපත්තුව හා සැකකරුගේ සපත්තුව එකක් ලෙස හඳුනා ගෙන ඇත.
පසුව කළ ප්‍රශ්න කිරීම් වලදී තමන් අදාළ නිවස අසළ කඩයක් සේවය කරන බවත් සිද්ධිය වූ දින නිවසේ කිසිවෙකුත් නොසිටි නිසා තමන් රාත්‍රි කාලයේ පැමිණ නිවසට ඇතුළු වී මුදල් හා රණඅභරණ සොරාගත් බවත් සැකකරු පොලීසියට පවසා තිබේ.
නිවැසියන් යාපනය බලා යෑමට පෙර සැකකරුට නිවස නිවස බලා ගන්නා ලෙස දැනුම් දී තිබෙන බවද පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
සොරකම් කරන ලද රන් බඩු සහ විදේශ මුදල් සැකකරු සන්තකයේ තිබී පොලීසිය සොයාගෙන ඇත. මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ජී.එස්. බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed