මහනුවරින් වාලම්පුරියක් මතුවෙයි – මහනුවර වාර්තාකරු

රුපියල් ලක්ෂ 50 කට වාලම්පුරියක් අළෙවි කිරිමට ගිය පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ තෙවන වසරේ සිසුවෙකු බව කියමින් වාලම්පුරිය විකිණීමට උත්සහ කර තිබේ.
යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මහනුවර කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (03) රාත්‍රී 7.00 ට පමණ සම සෞඛ්‍ය විද්‍යා පීඨය ඉදිරිපිටදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
පොලිස් නිලධාරියෙකු උපාය දූතයෙකු ලෙස යොදවා අදාළ වාලම්පුරිය මිලට ගැනීමට සලස්වා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අක්කරෙයි පත්තුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මෙම සිසුවා පානදුර ප්‍රදේශයේ නිවසකින් මෙම වාලම්පුරිය රැගෙන විත් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු කරන තමන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතරතුර අමතර පංති පවත්වා මුදල් උපයන බවත් මේ නිසා විභාග වලට පෙනී නොසිටීම නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපන කාලය දීර්ඝ වුණු බවත් ඔහු පොලීසියට පවසා ඇත.
පංතියක් පැවැත්වීමට පානදුර ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට ගිය අවස්ථාවේ එම නිවසේ මෙම වාලම්පුරිය තිබූ බවත් බදුල්ල ප්‍රදේශයේ මිතුරෙකු එය රුපියල් ලක්ෂ 50 කට පමණ අළෙවි කළ හැකි බව පැවසූ නිසා එවැනි මුදලකට වාලම්පුරිය අළෙවි කිරීමට උත්සහ කිරීමේදී පොලීසියට කොටුවූ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නාරංපනාව මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.