පසුගාමි සමාජ අදහස් වලින් බැටකන LGBTQ ප්‍රජාව

මෙරට පමණක් ලෝකයෙ බොහෝ රටවල LGBTQ ප්‍රජාව තවමත් ජීවත් වන්නේ අයිතිවාසිකම් අහිමිවූ ජන කොටසක් ලෙසිනි. මේ නිසාම ඔවුන් බොහෝ විට සමාජයෙන් වසන් වීමට උත්සහ කරන තත්ත්වයක් දකින්නට ලැබෙන්නේ එළිපිට තම හැඟීම් ප්‍රකාශ කරන්නට තරම් සුදුසු වටපිටාවක් තවමත් රටේ ගොඩනැගී නොමැති නිසාය. සමරිසි ප්‍රජාව,සමලිංගිකයින් ආදි නොයෙක් වචන භාවිත කරමින් මොවුන් හඳුන්වන්නට අපි පුරුදු වී සිටිමු. එසේ වුවත් වඩාත් නිවැරදි වන්නේ LGBTQ ප්‍රජාව
ලෙස ඔවුන් හැඳින්වීමය.LGBTQ යන අකුරු වලින් කියැවෙන්නේ කුමක්ද යන්න මෙහිදී අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය.
Lesbian (සමලිංගික කාන්තාවන්), Gay (සමලිංගික පිරිමි), Bisexual (ද්වි ලිංගික), Transgender (සංක්‍රාන්ති ලිංගික) හා Queer (අනෙක්) යන්න මින් කියවෙයි.

දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක්.

ශ්‍රී ලංකාව තුළ LGBTQ ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙනු ලැබුවේ මෙයට මාසයකට පමණ ඉහතදී ය. දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරිම සඳහා වූ මෙම පනත් කෙටුම්පත පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කළේය. LGBTQ + ප්‍රජාව සම්බන්ධයෙන් මෙරට සමාජය තුළ ඇත්තේ අතිශය පසුගාමී අදහස් බව කවුරුත් දන්නා කරුණකි. මේ නිසා දෛනික ජීවන කටයුතු වලදී පමණක් නොව රාජ්‍ය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලදී පවා මෙම ප්‍රජාව විවිධ හිංසනයන්ට, පීඩාවන්ට සහ අතවරයන්ට පත් වූ අවස්ථා බොහෝය. ඇතැම් අවස්ථාවලදී මෙම ප්‍රජාවගේ ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් පවා උල්ළංඝනය වූ අවස්ථා අපි දැක ඇත්තෙමු. ඒ සඳහා උදාහරණ ඕනෑ තරම් අප අවට සමාජය තුළින් පහසුවෙන් සොයා ගැනීමට පුළුවන.

සමරිසි හැඟීම මානසික රෝගක් ද ?

පසුගිය අප්‍රේල් මස වැලිසර මහබාගේ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සමරිසි තරුණියක වූ ක්‍රිස්ටිනා ගේ කතාව ද ඊට උදාහරණයකි. ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව මුහුණ දී සිටින අභියෝග පිළිබඳ හරස් කඩක් ඇගේ කතාව තුළින් දක්නට ලැබනේනේය. සමරිසි ලැදියාව ඇති තරුණියක ලෙස නාමකරණය කරමින් අධිකරණයට වෛද්‍යවරයෙකු මගින් මානසික ප්‍රතිකාර ලබා ගැනීම පිණිස යොමු කිරීමට තරම් වත්තල මහබාගේ නිර්ලජ්ජිත උත්සහයක නිරත වූ බව කනගාටුවෙන් වුව කිව යුතුව තිබෙන්නේ නීතිය රක්නට සිටින නිලදරුවන් ගේ පැටිකිරිය පිළිබඳව සියලු දෙනා දැනගත යුතු නිසාය.

ක්‍රිස්ටිනා Z පරපුර හෙවත් අන්තර් ජාල හා ඩිජිටල් තාක්ෂණය දැතින් ගෙන උපදින පරපුර නියෝජනය කළාය. ක්‍රිස්ටිනා ආර්ථික හා ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියක්. ඇය සිය වෘත්තීය වශයෙන් තෝරා ගත්තේ ඔන් ලයින් අධ්‍යාපන සේවයයි. තරුණ පරපුරට අන්‍යන්‍යය වූ ආචාරශිලී සමාජ සම්බන්ධතා,අවදානම් ගැනීම හා මීට ඉහත පරම්පරා විසින් පිළිකුල් සහගත යැයි සැලකු ක්‍රියාකාරකම් වලට නොබියව අත ගැසීම වැනි ගුණාංග ක්‍රිස්ටිනා තුළත් ගොඩ නැගි තිබිණ. ක්‍රිස්ටිනා තම සිතත් කයත් අකාර්ශනය කළ මහනුවර පදිංචි කුසුම් සමග සමරිසි සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට පෙළඹුණේ එවැනි සම්බන්ධතා පිළිබඳව සමාජය තුළින් මතුවන අවර ගනයේ කතා සියල්ල ප්‍රතික්ෂේප කරමිනි. නිතර මුණ නොගැසුන ඔවුන් ගේ ආදර සම්බන්ධතාව දලුලා වැඩුණේ වට්ස් ඇප් ඔස්සේ සිදුවූ කතාබහ තුළිනි. මිනිස් සම්බන්ධතා විෂයෙහි ලිංගික සම්බන්ධතාවන්ගේ එකම ආකාරය විෂම ලිංගිකත්වය පමණක් ද යන්න මුල්බැස ගෙන තිබූ පවුල් වටපිටාව පිළිබඳ පැහැදිලි අවබෝධයෙන් සිටි ඇය සිය සමරිසි ලිංගික සබඳතාව ඔවුන්ට හෙළි කළේ බූමරැංගයක් මෙන කැරකී තමන් වෙත පැමිණෙතැයි අපේක්ෂා කළ අපවාද සියල්ල පිළිබඳවද අවබෝධයෙනි.

ශාන්තිකර්ම මගින් හැඟීම් මරා දමන්න පුළුවන් ද ?

අවුරුදු දෙකක සිරදඬුවමක්.

ක්‍රිස්ටිනාගේ දෙමව්පියන් ඊළඟට ගියේ LGBTQ ප්‍රජාව ගේ අයිතීන් පිළිබඳ පසුගිය දශකය තුළ සමාජය තුළ ඇතිවූ කතිකාව පිළිබඳ අංශු මාත්‍රයක් හෝ නොදත් වැඩි පිරිසක් සේවය කරන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙතය. වත්තල මහබාගේ පොලිසිය වෙත 2022 අප්‍රියෙල් මස 9 වන දා යන ක්‍රිස්ටිනාගේ මව පැමිණිල්ලක් කරමින් කියා සිටින්නේ තම දියණිය කාන්තාවක් හා සබඳතාවක් පවත්වන බවයි. ඒ අනුව ක්‍රියාත්මක වන පොලීසිය ක්‍රිස්ටිනා කැඳවා ඇයගේ සමරිසි ලිංගික සම්බන්ධතාවය නවත්වන ලෙසට දැනුම් දෙන්නේ එය දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය උල්ලංඝණය කිරීමක් බව පෙන්වා දෙමිනි. ඒ යටතේ අවුරුදු දෙකක සිර දඬුවමක් වුව ලැබිය හැකි බව පෙන්වා දෙන පොලීසිය ශ්‍රී ලංකික සංස්කෘතියට නොගැලපෙන අනාචාරයක නියුතුව සිටින බවට ඇයට චෝදනා කරන්නේ දෙමව්පියන් ඉදිරියේදීම ය. මහබාගේ පොලිසිය ක්‍රිස්ටිනාගේ යහපත පිණිස යැයි කියමින් ඇයව රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කරන්නේ සිය කැමැත්තෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට යෑමට කැමැත්ත පළ කළ බවට ඇය ලවා ඒ සඳහා පෝරමයක් ද පුරවා ගනිමිනි. තමන්ගේ සිතේ උපදින හැඟීම් මරා දමා අන් අයට අවශ්‍යය ලෙස ජීවත් වී තමන්ට තමන් නැති කර ගන්නවාට වඩා ඇත්ත වෙනුවෙන් පෙනී සිටිය යුතු බවට තීරණය කළ ක්‍රිස්ටිනා අධිකරණ වෛද්‍යවරයා වෙත යෑම ප්‍රතික්ෂේප කරන්නේ දැඩි තීරණයටකට එළඹෙමිනි.

ස්වභාවධර්මයට එරෙහි ලිංගික සංසර්ගය

ක්‍රිස්ටිනාගේ හදවත තේරුම් ගැනීමට උත්සහ කිරීම පැත්තක තබා මහබාගේ පොලීසිය කළේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 වන වගන්තිය ප්‍රකාරව ඇයව රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලා මෝසමක් ඉදිරිපත් කිරීමය. ශ්‍රි ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ (1883) 365 සහ 365 (අ) වගන්ති වලට අනුව “ස්වභාවධර්මයට එරෙහි ලිංගික සංසර්ගය” සාපරාධී වරදක් වන අතර ඒවා “තදබල අශෝභන ක්‍රියා” ලෙස හඳුන්වනු ලබයි.
මෙය 1848 ඉංග්‍රිසි අධිරාජ්‍යවාදින් විසින් පැනවු නීතියකි. ස්ත්‍රීන් පිළිබඳ එහි සඳහනක් නොවිය. 1965 දි එම නීතිය සංශෝධනය කරමින් ස්ත්‍රීන් අතර සමලිංගික සම්බන්ධතා ද ස්වභාව ධර්මයේ අනුපිළිවෙළ න්‍යාය ධර්මයට පටහැනියැයි දක්වමින් සියවසක් පැරණි එම නීතිය සංශෝධනය කරන ලද්දේය.

වැඩිහිටියන් අතර සිය කැමැත්ත මත සිදුකෙරෙන ලිංගික හැසිරීම් රජය විසින් නියාමනය නොකළ යුතුයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අළුවිහාරේ මහතා විසින් 365 යටතේ පවරනු ලැබු නඩුවක් ( සිරිසේන එදිරිව රජය) විභාග කිරීමේ දි සිදුකළ වක්‍ර ප්‍රකාශයක් ශ්‍රී ලංකාවේ මෙම අනාචාර නීතිය සම්බන්ධ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. 2009 මුඛ ලිංගිකත්වයේ යෙදීම සම්බන්ධ චෝදනාවක් මත මරදාන පොලිසිය 365 (අ) යටතේ පවරන ලද නඩුවක් විභාග කළ මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණය සැකකරුවන් දෙදෙනාට බරපතල වැඩ සහිතව දෙවසරක සිර දඬුවමක් නියම කළේය. එම තීන්දුවට එරෙහිව උපරීමාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළත් එහිදී සිදුවූයේ මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව ස්ථිර කිරීමය. ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ අයදුම් පත 2015 දි විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝජනය කළ අළුවිහාරේ විනිසුරුතුමා පහළ අධිකරණ තීන්දු පදනම්ව ඇත්තේ කිසිදු සැකයකින් තොර ව සනාථ කළ හැකි සාක්ෂි මත හෙයින් එම තින්දුව අනුමත කරමින් ඇපෑල නිශ්ප්‍රභ කරන බව ප්‍රකාශ කළේය. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ දි සෘජුව නඩුවට අදාළ නොකර ගනිමින් නමුත් වක්‍රාකාරයෙන් 365 වගන්තිය පිළිබඳ සිය මතය කියා සිටිමට ඔහු පසුබට නොවිය. වැඩිහිටියන් අතර සිය කැමැත්තෙන් සිදු කෙරෙන ලිංගික හැසිරීම් රාජ්‍යය විසින් නියාමනය නොකළ යුතු අතරම එය අපරාධකරණයට හේතු නොවිය යුතුය යන සමකාලීන චින්තනය වසර ගණනාවක් පුරා වර්ධනය වී තිබේ. එසේම එංගලන්තයේ පවා බරපතල අශෝභන සහ මුඛ හා ගුද ලිංගික ක්‍රියා තවදුරටත් වරදක් ලෙස නොපිළිගන්නා බව ද පෙන්වා දි තිබිණි.

දෙමව්පියන් අත්හැර යාමට තරම් ප්‍රබල ප්‍රශ්නයක්.

මහබාගේ පොලිසිය විසින් 2022 අප්‍රියෙල් 22 දින වත්තල අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ ක්‍රිස්ටිනා රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ නියෝගයකි. අධිකරණ වාර්තාවට අනුව වත්තල මහේස්ත්‍රාත්වරයා විසින් එම අවසරය පොලිසියට ලබාදෙන ලදි.මෙම නඩුව කැඳවන අවස්ථාවේ ක්‍රිස්ටිනා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටියේ නැත. මේවන විට ඇය දෙමව්පියන් සමඟ සිටි නිවසින් පිටව ගොසිනි.ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය නීති පොතෙන් ඉවත් කිරීම පිණිස යෝජනා කරන පෞද්ගලික මන්ත්‍රී පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබෙන්නේ මෙවන් පසුබිමක් රටේ තිබියදීය.

සංඛ්‍යාත්මකව කුඩා ප්‍රජාවක් නිසා ගැටලු එකතැන පල්වෙයි.

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳ අධ්‍යයනයක් කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යනංශයේ කථිකාචාර්ය කේ.ජි.එන්.යු. රණවීර මහතාගේ නිරික්ෂණය වුයේ ශ්‍රි ලංකාව ජාතික හා ආශික සැළසුම් මගින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය සඳහා යම් අවකාශයක් නිර්මාණය කර තිබුණත් සංඛ්‍යාත්මකව කුඩා ප්‍රජාවක් වන LGBTQ ප්‍රජාව ජයග්‍රාහකයින් වීමට නම් තව බොහෝ බාධක ඉවත් කර ගත යුතුව තිබෙන බවයි.LGBTQ ප්‍රජාව මුහුණ දෙන විශාලතම අභියෝග මෙරට යුක්තිය පසඳලීමේ ආයතන විසින් යල් පැන ගිය නීති හා වික්ටෝරියානු ආචාර ධර්ම පදනම් කොට ගෙන දඬුවම් පැනවීමට දරන උත්සාහයයි. එවැනි යල්පැන ගිය නීති ඉවත් කිරීම පිණිසත් LGBTQ ප්‍රජාවගේ මුලික මානුෂික අයිතිවාසිකම් පිළිබඳත් දැනුවත් සංවාදයක් ආරම්භ කිරීම අප විසින් කළ යුතුව ඇත. එවැනි උත්සාහයක දී යෝජිකාටා ප්‍රඥාප්තිය’ ඇතුළු ජාත්‍යන්තර ප්‍රඥාප්තින් ද, ආසියානු කලාපීය අත්දැකිම් ද විශේෂයෙන්ම ඉන්දීය ආදර්ශයන් ගෙන් ද පාඩම් උගත යුතු අතර එමගින් LGBTQ ප්‍රජාවට නිදහසේ සිය අයිතීන් භූක්ති විඳිමට ඔබින පරිසරයක් නිර්මාණය කරගත හැකිය. ක්‍රිස්ටිනලාට නිදහසේ තම ජීවිතය ගත කිරීමට අවකාශ සැලසෙනු ඇත්තේ එවැනි වටපිටාවක් රටේ නිර්මාණය වූ දවසටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *