අධිආරක්‍ෂිත කලාප ප්‍රකාශයට පත්කිරීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි අප්‍රසාදයට – මෙලනි මානෙල් පෙරේරා

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව HRCSL සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය BASL ජනතාවගේ මූලික අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කරන නිල රහස් පනත සම්මත කර ගැනීමට සහ අධි ආරක්‍ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමට රජය ගන්නා ප්‍රවේශය පිළිබඳව දැඩි අවධානය යොමුකරමින් , රජයේ එම ක්‍රියාවන් දැඩි ලෙස හෙළා දකියි.
මෙම ගැසට් පත්‍රය ඉවත් කර ජාතික නීති අනුගමනය කරන බවට සහතික වන ලෙස මානව හිමිකම් කොමිසම රජයෙන් ඉල්ලා සිටීයි.
“අධි ආරක්‍ෂක කලාප නිල රහස් පනත යටතේ ප්‍රකාශයට පත් කළ යුතුය යන මතය කිසිදු සාධාරණීකරණයකින් හෝ පදනමකින් තොර මුළාවකි. මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරන නිල රහස් පනත සම්මත කර ප්‍රකාශයක් කිරීමට රජය ගන්නා ප්‍රවේශය පිළිබඳව මානව හිමිකම් කොමිසම දැඩි කනස්සල්ලට පත්ව සිටී.” යනුවෙන් මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කරනු ලැබු මාධ්‍ය ප්‍රකාශය සඳහන් කරයි.
සැප්තැම්බර් 23 දිනැති අංක 2298/53 දරන ගැසට් පත්‍රය ඉල්ලා අස්කර ගන්නා ලෙසත් ජාත්‍යන්තර හා ජාතික වශයෙන් පිළිගත් මානව හිමිකම් ප්‍රමිතීන් හා සම්මතයන් අනුගමනය කරන බව සහතික කිරීමටත් , ඒවා කඩ කරන ප්‍රකාශ වැළැක්වීමටත් පියවර ගන්නා ලෙසත් HRCSL රජයට වැඩිදුරටත් උපදෙස් ලබාදෙයි.
“අමරතුංග එදිරිව සිරිමල් සහ තවත් අය (1993) 1 SLR 264 දරන “ජන ඝෝෂා” නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් සොයාගත් “ප්‍රඥාව” අපි ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට දිගින් දිගටම මතක්කර දෙන්නෙමු. එය නඩුවේ මෙසේ සඳහන් වේ.
“අද නීත්‍යානුකූල විසම්මුතියේ සාමකාමී ප්‍රකාශනය මැඩලීමේ ප්‍රතිඵලය විය හැක්කේ, නොවැලැක්විය හැකි ලෙස, වෙනත් දවසක ප්‍රචණ්ඩත්වයේ ව්‍යසනකාරී පිපිරීමක් පමණි.” යනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මාධ්‍ය ප්‍රකාශයේ අවසානයේ සඳහන් කරයි.