ත්‍රස්තවාදයක් නොපවතින අවස්ථාවක අධි ආරක්‍ෂිත කලාප පැනවීම ඉතාම අවාසිදායකයි – මෙලනි මානෙල් පෙරේරා

මෙවැනි අපරික්‍ෂාකාරි උත්සාහයන් ශ්‍රී ලංකාවට ඉතාම අගතිගාමි ලෙස බලපානවා. හෙට අනිද්දාම ලංකාවේ අධි ආරක්‍ෂිත කලාප නම්කිරීම ගැන, මේ හදිසි තත්ත්වය පිළිබඳව රටවල් ප්‍රශ්න කරයි. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරියේ දි ලංකාවට ඡන්ද ලැබෙයිද?

රටේ දැවෙන ප්‍රශ්න ආමන්ත්‍රණය කරමින් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් විශ්ව විද්‍යාල භික්‍ෂු සංගමයේ කැඳවුම්කරු සිරිධම්ම හිමි සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරී හේෂාන් ජීවන්ත යන අයව වහා නිදහස් කරන ලෙසත් , ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුලා ගන්නා ලෙසත් රජයට බලකර සිටීමේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට, එක්සත් සමාජවාදි ශීෂ්‍ය සංගමය විසින් පසුගියදා (සැප් 24වෙනිදා) සැලසුම්කර තිබියදී , ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කොළඹ නගරය තුළ ස්ථාන සහ මාවත් කිහිපයක් මුලික කරගනිමින් 23වෙනිදා රාත්‍රියේදි අධි ආරක්‍ෂිත කලාප නම්කර ගැසට් නියෝගයක් නිකුත් කළේය.

 
මෙහි ප්‍රතිඵලයක් ලෙසට සැප් 24 වෙනිදා පවත්වන්නට යෙදුණු උද්ඝෝෂණය අවස්ථාවේදි ඉතා නිර්ධය ලෙසට විශ්ව විද්‍යාල සිසු සිසුවියන් මෙන්ම වැඩිහිටි පිරිස් 85 දෙනෙකු  අත්අඩංගුවට ගනු ලැබිණි. මේ අතර වයස 17ක දරුවෙකු , ඇස් රෝහලට පැමිණි පුද්ගලයෙකු ද වුහ. මොවුන්ගෙන් ඇතැමෙකුට දැඩි පොලිස් ප්‍රහාරවලට ලක්වන්නට ද සිදුවිය.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් විසින් කොළඹ දී පවත්වන්නට යෙදුණු උද්ඝෝෂණයක් නිමාකර ආපසු යමින් සිටිය දී අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ , සිරිධම්ම හිමි සහ හේෂාන් ජීවන්ත අදට (සැප් 28) දින 42ක් සමස්ත රට සහ ජනතාව වෙනුවෙන් සිරගතව සිටිති. මොවුන් තිදෙනා අත්අඩංගුවට ගනුලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය.

එහෙත් , ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වර්ධනය කරන්නේ කෙලෙස ද කියා විස්තර කරමින් සිටින අවස්ථාවක හදිසියේ ම අධි ආරක්‍ෂිත කලාප පිළිබඳව ගැසට් පත්‍රයක් නිකුත් කිරීම ශ්‍රී ලංකාවට යහපත් තත්ත්වයක පෙන්නුම් නොකරන බව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂක ආචාර්ය ප්‍රතිභා මහානාම ප්‍රකාශ කරයි.

“මෙවැනි අපරික්‍ෂාකාරි උත්සාහයන් ශ්‍රී ලංකාවට ඉතාම අගතිගාමි ලෙස බලපානවා. හෙට අනිද්දාම ලංකාවේ මේ හදිසි තත්ත්වය පිළිබඳව රටවල් ප්‍රශ්න කරයි.”යනුවෙන් අවධාරණය කළේය.

“අධි ආරක්‍ෂිත කලාප ගෙනෙන ගැසට් තිබෙනවා. අඩුම තරමේ ඔක්තෝබර් මාසේ 07 වෙනිදා දක්වා වත් ඉවසන්න තිබුණා. මොකද එතකොට චන්දෙ ඉවරයි. නමුත් මේ වාතාවරණය තුළ සියලුම අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන සහ දේශීය සංවිධාන මානව හිමිකම් කවුන්සිලයට දන්වා සිටින එක් ප්‍රභල කරුණක් තිබෙනවා.” යැයි ආචාර්ය මහනාම අනතුරු හැගවීය.

මෙසේ ශ්‍රී ලංකාව තුළ අධිආරක්‍ෂිත කලාප ප්‍රකාශයට පත්කිරීම තුළින් තවදුරටත් ජනතාවගේ භාෂණයේ නිදහස , ප්‍රකාශනයේ නිදහස උල්ලංඝණය වන බව ඔවුන් මානව හිමිකම් කවුන්සිලයට දන්වා සිටින බව ප්‍රකාශ කළ  ආචාර්ය මහනාම, මේ අනුව, ශ්‍රී ලංකාවට ඡන්දය දෙන්නට සිටින රටවල් 47කින් කෙසේ ඡන්දය ඉල්ලා සිටින්නදැයි විමසා සිටියි.

රටතුළ ත්‍රස්තවාදයක් නොපවතින අවස්ථාවක අධි ආරක්‍ෂිත කලාප යොදා තිබෙන්නේ ඇයි යන ප්‍රශ්නය එම රටවල් අපෙන් විමසා සිටියි. අපට ලැබෙන ඡන්ද වලට මේ අධි ආරක්‍ෂිත කලාප ඇතිකිරීම ඉතා ප්‍රබලව බලපානවා. ඒ නිසා මෙවැනි දෑ කාරණාවලදි රජය ඉතා ප්‍රඥාවන්ත විය යුතුයි, ඔහු අවධාරණය කළේය.

මෙපමණ කාලයක් ශ්‍රී ලංකාවට ඡන්ද 11ක් ලබාගන්නට හැකි වු බව සිහිපත්කරන ආචාර්ය මහනාම, චීනය රුසියාව අපට නිරන්තරයෙන් ඡන්දය දුන්නේ ඇමරිකාවට විරුද්ධවීමේ අවශ්‍යතාවය මත මිස ශ්‍රී ලංකාවට ඇති ආදරයකට නොවන බව පෙන්වා දුණි.

මානව හිමිකම් සම්බන්ධයෙන් අපේම දේශිය යාන්ත්‍රණය ඉදිරියට නොගෙනියන්නේ මන්ද යන ප්‍රශ්නය නගන ආචාර්ය මහනාම, මානව හිමිකම් සම්බන්ධයෙන් නිසි ආකාරයෙන් කටයුතු නොකළොත් (2024 තෙක්) ශ්‍රී ලංකාව ඉතාම අවාසිදායක තත්ත්වයකට පත්වන බව පැවසීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *