රනිල්ගේ චාන්ස් එක ගඟවට කෝරළයටත් -මහනුවර වාර්තාකරු

මහනුවර ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීම කාසිය වාසිය උරගා බැලීමෙන් සිදු කිරීමට සිදුවිය.
මධ්‍යම පළාත් පාළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (27) එම සභා ශාලාවේදී පැවැත් විණි.
සභාපති ලෙස කටයුතු කළ ඩී.ඒ ධර්මසේන මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්වීම නිසා එම ධූරය පුරප්පාඩු විය.
සභාපති ධූරය සඳහා සිව් දෙනෙකු ඉදිරිපත් වූ අතර එහිදී හිටපු සභාපතිවරයෙකු වන සුභාෂ් යටවර මහතාට ඒ සඳහා ඉදිරිපත් විය නොහැකි බව පළාත් පාලන කොමසාරිස්වරයා දැනුම් දුන්නේය.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ චමින්ද කරුණාරත්න, රවිප්‍රිය චාමිකර හා එක්සත් ජාතික පක්ෂයේ සිසිර රණසිංහ යන අය නම් යෝජනා ස්ථිරත්වයෙන් සභාපති ධූරය සඳහා තරඟ කළහ.
එහිදී චමින්ද කරුණාරත්නට ඡන්ද 10 ක්ද රවිප්‍රිය චාමිකරට ඡන්ද 02 ක්ද සිසිර රණසිංහ ට ඡන්ද 08 ක්ද හිමි වූහ.
අවම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් රවිප්‍රිය චාමිකර ඉවත්කර යළිත් වැඩිම ඡන්ද ලබාගත් දෙදෙනා අතර ඡන්දයක් පැවත්වූ පසු දෙදෙනාම ඡන්ද 10 බැගින් ලබා ගැනීම නිසා සභාපති ධූරයට කෙනෙකු තෝරා ගැනීම සඳහා කාසියේ වාසිය උරගා බැලීමට සිදුවිය.
එහිදී කාසියේ වාසිය හිමිවූ එක්සත් ජාතික පක්ෂයේ සිසිර රණසිංහ සභාපති ධූරයට පත්විය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගි නොවීය.ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණේ රවිප්‍රිය චාමිකර මන්ත්‍රීවරයා එජාප අපේක්ෂකයාට ඡන්දය පාවිච්චි කළේ යැයි උරණ වූ පිරිසක් ඔහුට පරදීමට උත්සහ කළ අතර එය වැලැක්වීමට පොලීසියද මැදිහත් විය.