පාස්කු කොමිසම : ජනාධිපති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව – මෙලනි මානෙල් පෙරේරා

 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බව අද – සැප් 26 දා, ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

 

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්තිය යටතේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මුක්තිය හිමිවන බවයි.

එම වගන්තියට අනුව දැනට ජනාධිපති ධුරය දරන පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරිය නොහැකි බව සඳහන් වන බවද අගවිනිසුරුවරයා පෙන්වා දුණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය,  බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය,  මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ලබා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) වගන්තියට අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අදාළ පෙත්සම් මේ මොහොතේ පවත්වාගෙන යා නොහැකි බව අගවිනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළ අතර, පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය සැප්තැම්බර් 29 වැනිදාට කල් තැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed