මහවැලි පදිංචිකරුවන්ට ඉඩම් ඔප්පු ලබාදීම නිවෙසින් නිවසට – නිමල් කොළඹිස්ස මහනුවර

ඔප්පු හා දීමනා පත්‍ර මේ දක්වා හිමි නොවුණු මහවැලි පදිංචිකරුවන් සඳහා සිය නිවසේදීම ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන මහවැලි වික්ටෝරියා කලාපයේදී ආරම්භ විය.

වික්ටෝරියා ජලාශය ඉදිකිරිමත් සමඟ  සිය උපන් බිම් අහිමිවී,  මහවැලි ව්‍යාපාරය මගින් ලබා දුන් නව ඉඩම් සඳහා ඔප්පු හා දීමනා පත්‍ර ප්‍රදානය කිරීම ඒ අනුව සිදුවේ.

එහි සමාරම්භක වැඩසටහන ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) මහනුවර ගුරුදෙණිය සහ කුණ්ඩසාලේදී පැවැත්විණි.

මහවැලි ව්‍යාපාරය හේතුවෙන් පවුල් තුන්ලක්ෂ පනස් දහසක ප්‍රමාණයක් සඳහා නව ඉඩම් හිමිවී ඇති අතර ඉන් පවුල් ලක්ෂ දෙකකට මේ වන විට ඉඩම් ඔප්පු ප්‍රදානය කොට ඇතැයි ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වූ අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

තවත් පවුල් එක්ලක්ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් සඳහා ඔප්පු ලබාදීමට නියමිත බව කී ඒ මහතා ගෙයින් ගෙට ගොස් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ අද දිනයේදී ඔප්පු 15 000ක්  ලබාදීමට නියමිත බව ද ප්‍රකාශ කළේය.

මෙම මහවැලි ඉඩම් කෘෂිකාර්මික කටයුතු සඳහා යොමු කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජල සම්පාදන පහසුව ඇතුලු යටතල සම්පාදන ක්‍රියාවලියක් පවතින බැවින් ආදායම් ඉපැයීම සඳහා මහවැලි ඉඩම් යොදා ගත හැකි යැයි පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී. කොටගම, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අසංක කොටගම, මහවැලි ඊ කලාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකරු කුමාර හේරත් මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *