ඩෙබිට් කාඩ් පතක් සොරකම් කර මත්පැන් මිලට ගත් ආරක්‍ෂක නිළධාරියා – මහනුවර වාර්තාකරු

බැංකු සේවා ලබා ගැනීමට පැමිණි පාරිභෝගිකයෙකුගේ ඩෙබිට් කාඩ් පතක් සොරකම් කර ඉන් මුදල් ගෙවා මත්පැන් මිලට ගත් බව කියන කටුගස්තොට ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියෙකු සී.සී.ටී දර්ශන මගින් ලබාගත් දර්ශන ඔස්සේ හඳුනාගත් සිද්ධියක් කටුගස්තොට පොලීසියෙන් වාර්තා වෙයි.

මුදල් තැන්පත් කිරීම සඳහා 21 දා පැමිණි අලදෙණිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක සේවකයෙකු එම කටයුතු නිම කිරීමෙන් පසු ඔහුගේ ඩෙබ්ට් කාඩ් පතින් රුපියල් 2000.00 ක මුදලක් ලබාගෙන ඇත.
එම ගනුදෙනුව නිම කිරීමෙන් අනතුරුව ආපසු අලදෙණිය බලා යන අතරතුර ඔහුගේ කාඩ්පත භාවිත කර රුපියල් 9000.00 ක මිලදී ගැනීමක් සිදුකර තිබෙන බවට කෙටි පණිවිඩයක් ඔහුගේ ජංගම දුරකතනයට ලැබී තිබේ.

තමන් සතුව ඩෙබිට් කාඩ්පත නොමැති බව දැනගත් අදාළ පුද්ගලයා විනාඩි කිහිපයක් තුළ යළි බැංකුවට ගොස් සිද්ධිය සම්බන්ධව බැංකු කළමනාකාරවරයා දැනුම්වත් කර ඇත.

පොලිස් පැමිණිල්ලක් නොමැතිව බැංකුවේ සී.සී.ටී.වී කැමරා දත්ත පරීක්ෂා කළ නොහැකි බව කළමනාකරු දැනුම් දීම නිසා එම පුද්ගලයා ඒ සම්බන්ධව කටුගස්තොට පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

පසුව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පෙරේදා (22) පැමිණ සිදුකළ පරීක්ෂාවේදී ඒ.ටී.එම් යන්ත්‍රය මත තිබෙන බැංකු කාඩ්පත ආරක්ෂක නිලධාරියා විසින් සොරා ගන්නා අයුරු එහි පැහැදිලිව සටහන්ව තිබී ඇත.

අදාළ කාඩ්පත සොරා ගැනීමෙන් පසු බැංකුවට ආසන්නයේ තිබූ මත්පැන් අළෙවි සැළකින් රුපියල් 28000.00 ක මත්පැන් මිලට ගත් බවත් කාඩ්පත උපයෝගි කරගෙන ගෙවීම් සිදුකිරීමේදී එහි රුපියල් 9000.00 ක මුදලක් පමණක් තිබීම නිසා ඉතිරි මුදල් තම මුදල් වලින් ගෙවූ බවත් ආරක්ෂක නිලධාරියා පොලීසියට පවසා තිබේ.
කාඩ්පතින් ලබාගත් රුපියල් 9000.00 ක මුදල ආරක්ෂක නිලධාරියා විසින් පොලීසියේදීම පැමිණිලිකරුට ලබාදීමෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග නොගෙන ඔහු පිටත්කර හැරීමට පොලීසිය පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *