ගැබිණි හා කිරිදෙන මව්වරුන්ට නිකුත් කර තිබෙන ත්‍රිපෝෂ වල පිළිකා කාරයකයක් – මහනුවර වාර්තාකරු

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ගැබිණි හා කිරිදෙන මව්වරුන්ටත් අඩුබර දරුවන්ටත් නිකුත් කර තිබෙන ත්‍රිපෝෂ වල ඇප්ලටොක්ෂීන් නැමැති පිළිකා කාරයකය අඩංගු බවට සිදුකර තිබෙන ප්‍රකාශ වල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් වහා සොයා බැලීමක් කර සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කඩිනමින් කළ යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය මහනුවරදී ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.
ත්‍රිපෝෂ වල පිළිකාකාරක ඇතැයි හෙළි කිරීමත් සමඟ මේවන විට ගැබිණි හා කිරිදෙන මව්වරුන් මෙන්ම අඩුබර සහිත දරුවන්ගේ මව්පියන් දැඩි බියට පත්ව සිටින බවද ඇය කීවාය.
නිකුත් කළ ත්‍රිපෝෂ යළි එකතු කරන ලෙස පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ට මේවන තෙක් කිසිදු නිල දැනුම් දීමක් සිදුකර නොමැති බවද සභාපතිනිය පැවසුවාය.
දරුවන්ගේ මන්දපෝෂණය වැලැක්වීම සඳහා ගර්භනී කාලයේදී මෙන්ම කිරිදෙන අවස්ථාවේදී මවටත් මාස 06 සිට අවුරුදු 05 ක් දක්වා අඩුබර සහිත දරුවන්ටත් ත්‍රිපෝෂ ලබාදුන් බවත් වසර 1 1/2 ක පමණ කාලයක් ත්‍රිපෝෂ ලබාදීම ඇනහිට තිබියදී යළි එය ආරම්භ කළේ පසුගිය අගෝස්තු මාසයේ බවත් කොඩිතුවක්කු මහත්මිය ප්‍රකාශ කළාය.
ළමා මන්දපෝෂණය අවම කිරීම සඳහා මෙම ත්‍රිපෝෂ ලබාදීම විශාල පිටුබලයක් වූ බවත් දැනට නිකුත් කර තිබෙන ත්‍රිපෝෂ වල ඇප්ලටොක්ෂීන් පිළිකා කරකය ඇත්ද නැද්ද යන සැකය මත මේවන විට ඒවා ලබාගත් ගැබිණි හා කිරිදෙන මව්වරු මෙන්ම දරුවන් ත්‍රිපෝෂ ආහාරයට නොගන්නා තත්ත්වයක් මතුව තිබෙන බවත් ඇය පැවසුවාය.
පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට නිකුත් කර තිබූ ත්‍රිපෝෂ ඒවා නිකුත් කළ සමාගමට යළි බාරදෙන ලෙස ලිපියක් ලැබී ඇති බවට පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී අදාළ සමාගම කර ඇත්තේ කල් ඉකුත් වීමට ආසන්නව පවතින ත්‍රිපෝෂ බාරදෙන ලෙස කළ දැනුම්දීමක් බව අනාවරණය වූයේ යැයිද සභාපතිනිය අවධාරණය කළාය.
ත්‍රිපෝෂ ලබාදීම සඳහා රජය වාර්ෂිකව රුපියල් බිලියන 16 ක පමණ මුදලක් වැය කරන බවත් වියදම් කපා හැරීමේ වැඩපිළිවෙළ යටතේ ත්‍රිපෝෂ ලබාදීම අත්හිටුවීම සඳහා ඇප්ලටොක්ෂීන් කතාව මතු කළේද යන සැකය මතුවන බවත් කී කොඩිතුවක්කු මහත්මිය මේවන විට ත්‍රිපෝෂ වලට ආදේශක ආහාර ද්‍රව්‍යය 10 ක් පමණ විවිධ වෙළෙඳ නාම යටතේ පවතින බවත් ඒවාහි ද මෙම අහිතකර සංඝටක තිබේද යන්න සෙවීමට පරීක්ෂණ සිදුකළ යුතුව තිබෙන බවත් පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *