මහනුවර ගිනි අර්බුදය – මහනුවර වාර්තාකරු

මහනුවර නාගරික ගිනි නිවීම් ඒකකයේ 65 දෙනෙකු ගෙන් පමණ සමන්විත කාර්යමණ්ඩලයක් සිටිය යුතු වුවත් එම සංඛ්‍යාව මේවන විට 27 ක් දක්වා පහත බැසීම හේතුවෙන් ගිනි නිවීම් සේවා පවත්වාගෙන යෑමේ දැඩි අර්බුදයක් නිර්මාණය වී තිබෙන බව එම ඒකකයේ සේවකයෝ පවසති.
පුහුණු සේවකයින් විශ්‍රාම යෑමේදී එම අඩුව පිරවීමට නව සේවකයින් බඳවා නොගැනීම නිසා අදාළ ගැටලුව මතුව තිබෙන බව මහනුවර නගර සභාව පවසයි.

මහනුවර මහ නගර සභා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඒකකය මහනුවර විලියම් ගොපල්ලව මාවතේ පිහිටා ඇති අතර එහි අනු ඒකකයක් මහනුවර මහයියාවේ ස්ථාපිත කර ඇත. ඊට අමතරව තවත් ඒකකයක් මහනුවර නගර මධ්‍යයේ ඩී.එස්. සේනානායක පුස්තකාලයට යාබදව පවතී.
මෙම ඒකක සියල්ල මගින් ලබාදෙන සේවා ආවරණය කිරීමට අවම වශයෙන් 65 දෙනෙකු ගෙන් පමණ සමන්විත කාර්ය මණ්ඩලයක් අවශ්‍යය බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.
දැනට සේවයේ නියුතු පිරිස අතරින් කිහිප දෙනෙකුද අවුරුදු 60 සපිරීම හේතුවෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබෙන නිසා පවතින අර්බුදය ඉදිරියේදී තවත් උග්‍ර වනු ඇති බව ගිනි නිවීමේ අංශයේ සේවකයෝ ප්‍රකාශ කරති. දෛනිකව ලක්ෂ දෙකකට වැඩි පිරිසක් ඇතුළු වන මහනුවර නගරයේ නිවාස හා ව්‍යාපාරික ස්ථාන ගණනාවක් තිබෙන බවත් ගිනි නිවීම් ඒකකයේ බරපතල සේවක හිඟයක් පැවතීම අධි අවධානම් තත්ත්වයක් බවත් මහනුවර ව්‍යාපාරික ප්‍රජාව පවසයි.
ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ සේවක හිඟයක් පවතින බවත් නව බඳවා ගැනීම් සඳහා සම්මුඛ පරීක්ෂණ මගින් පිරිසක් තෝරාගෙන තිබුණද රාජ්‍ය සේවයට බඳවා ගැනීම අත්හිටුවමින් රජය නිකුත් කර තිබෙන චක්‍රලේඛණය හේතුවෙන් ඔවුන් බඳවා ගැනීමට නොහැකි වී තිබෙන බවත් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා පැවසීය.

මේ හේතුවෙන් ඉදිරියේදී හදිසි ගිනි නිවීම් සේවා පවත්වා ගැනීමේ දැඩි ගැටලු හා අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙන බවද ඒ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed