ලංකාවේ කෘෂිකර්මාන්තයට රැජිනගේ දායකත්වය ඉහලයි, අස්ගිරි මහානායක හිමි – මහනුවර වාර්තාකරු

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය පිළිබඳව බකිංහැම් මාලිගයේ නිල නිවේදනය ඔස්සේ දැනගැනීමෙන් ශ්‍රී ලාංකීය ජනතාව මහත් ශෝකයට පත්වූයේ යැයි අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානාහිමියෝ රැජින ගේ අභාවය නිමිත්තෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරති.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් සාරා හට්න් (Sarah Hutton) මහත්මිය වෙත යොමුකළ එම ශෝක පණිවිඩයේ මෙසේද සඳහන් වෙයි.

බ්‍රිතාන්‍ය රාජකීයයන්ව මෙරට ජනතාව ඉතා ගෞරවයෙන් සලකනු ලබන අතර විශේෂයෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව යුගයක් ගොඩනැගීමට දායක වූ දෙවන එලිසබෙත් මහ රැජිනට මෙරට ජනතා හදවත් තුළ විශේෂ ස්ථානයක් හිමිව තිබේ. කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ඔස්සේ බොහෝ ගොවීන්ට සහ ඔවුන්ගේ පවුල් වලට නව ජීවන රටාවක් ලැබී තිබෙව බව නොරහසකි. එක්සත් රාජධානියේ පරිත්‍යාගයක් වන වික්ටෝරියා ජලාශය මගින් ජලය සැපයීමත් සමඟ ඉඩම් හෙක්ටයාර් දහස් ගණනක් කෘෂිකාර්මික වශයෙන් ඵලදායී තත්ත්වයට පත්ව ඇත.

මහා බ්‍රිතාන්‍යය සහ ශ‍්‍රී ලංකාව අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා වලට දීරීඝ ඉතිහාසයක් තිබේ. මහා බ්‍රිතාන්‍යය අද පවතින අති නවීන රාජ්‍යයක් ලෙස ගොඩනැන්වීමේදී ලබාදුන් දායකත්වය තුළින් මහ රැජන ගේ ශ්‍රේෂ්ඨත්වය පිළිඹිබු විය. පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාව ලෙස ඇය ලොව සියලුම නායකයින්ට ආදර්ශයක් ලබා දුන්නාය.1954 දී හා 1981 දී මෙරට කළ සංචාරය අතර තුර ඇය දළදා මාලිගාවට ද පැමිණි අවස්ථා අපගේ මතකයේ තිබේ. මෙම ශෝකජනක මොහොතේ තුන්වන චාල්ස් රජු ඇතුළු මහා බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ සාමාජිකයින්ට සහ මහා බ්‍රිතාන්‍යයේ වැසියන්ට බලවත් සංවේගය අපි පළ කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed