පොලීසියට මුහුණදීමට සිදුවූ විවිධ තත්ත්වයන්ට අභීතව මුහුණ දුන්නා ,පොලිස්පති කියයි – නිමල් කොළඹිස්ස – මහනුවර

කාලානුරූපව පරිවර්ථනය වෙමින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මහජනයාට යහපත් මෙහෙවරක් සිදුකරන බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පවසයි.

විවිධ සමාජ ගැටුම්, ජන අරගල, සන්නද්ධ අරගල හා අපරාධ, ත්‍රස්තක්‍රියා ආදියට මුහුණ දෙමින් දශක ගණනාවක් සුන්දර නොවන ගමන් මඟක පොලිස් දෙපාර්තමේන්තුව ගමන් කළ බව ඒ මහතා කීවේය.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 156වන සංවත්සරය නිමිත්තෙන් පොලිස් දින සැමරුම් මධ්‍යම පළාත් උත්සවය ඊයේ  (17) පෙරවරුවේ මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පොලිස් තූර්යවාදන, අශ්වාරෝහක, නිල සුනඛ, සහ විශේෂ කාර්ය බලකායේ සන්දර්ශනවලින් යුක්ත වූ මෙම සැමරුම් උත්සවයේදී විශිෂ්ඨ සේවා කළ පොලිස් නිලධාරීන් වෙත තිළිණ හා මූල්‍යමය ප්‍රදානයන් ද පිරිනැමිණි.

පොලීසියට මුහුණදීමට සිදුවූ විවිධ තත්ත්වයන්ට අභීතව මුහුණ දෙමින් නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබුණු බව පොලිස්පතිවරයා කීවේය. විවිධ ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ලැබූ අත්දැකීම් පදනම් කොට මහජනයාට අවැසි සේවය ලබා දීමට හැකිවූ බව ද ඒ මහතා කීවේය.

සිය දෙපාර්තමේන්තුව විවේචනවලට බදුන් වුවත් නීතිය සුරකමින් අපරාධ මැඩලීමට කටයුතු කොට ඇතැයි කී පොලිස්පතිවරයා නීති ගරුක පුරවැසින්ට අප හා එක් වන ලෙස මේ අවස්ථාවේ ආරාධනා කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විශේෂ ආරාධිතයා වශයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ අවස්ථාවට එක්වූ අතර මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න යන මහත්වරුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed