අනගාරික ධර්මපාල 158 ගුණ සැමරුම – නිමල් කොළඹිස්ස – මහනුවර

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 158 වන ගුණ සැමරුම් උත්සවයක් සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ සිදුකෙරිණි.
ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ස්ථාපිත එතුමන්ගේ පිළිරුව අභියසදී මෙම ගුණ සැමරුම් උත්සවය පැවැත්වූ අතර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුලු සම්භාවනීයන් විසින් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව උත්සවය ආරම්භ විය.
සෙංකඩගල එක්සත් බෞද්ධ බල මණ්ඩලය විසින් මෙම ගුණ සැමරුම් උත්සවය සංවිධාන කොට තිබිණි.
වත්මන් තරුණ පරපුරට පමණක් නොව පාසල් දරු දැරියන්ට පවා අතීත මුතුන් මිත්තන් සහ මෙවැනි උදාර ක්‍රියා කළ පිරිස් සම්බන්ධ පුළුල් දැනුමක් ලබා දිය යුතු බව අනුශාසනා කථාව පැවැත්වූ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පැවසූහ.
බුද්ධගයාව, ලුම්බිණිය, කුසිනාරා ඇතුලු බුදුන් වහන්සේගේ පහස ලැබූ සිද්ධස්ථාන රැක ගැනීම සඳහා විර ක්‍රියා කළ අනගාරික ධර්මපාලතුමන් කිසිසේත්ම අමතක නොකළ යුතු යැයි ද අනුනායක හිමි සඳහන් කළහ.
රට, ජාතිය, ආගම පරිහානියට පත්වූ අවස්ථාවලදී සිංහළ ජාතිය අවදි කිරීම සඳහා වීරවරයන් විවිධ අවස්ථාවලදී පෙරමුණ ගන්නා බවත් අතීතයේදී වර්තමානයේදී මෙන්ම අනාගතයේදී ද එවන් වීරවරයන් රටට පහළ වීම කාලෝචිත යැයි ද අනුනායක හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් ඇතුලු මහා සංඝරත්නය ද මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක, එක්සත් බෞද්ධ බල මණ්ඩලයේ සභාපති එස්.එම්.යූ.ඒ.අලහකෝන්, එහි ලේකම් ඒ.ඒ.මුණසිංහ යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.