පේරාදෙණියේ සිසුවෙකුට පැයකට රුපියල් 350 ක් – මහනුවර වාර්තාකරු

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සියලු සිසුන් සඳහා මාසයකට පැය 13 ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබා දීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.
මෙරට විශ්ව විද්‍යාලයක ප්‍රථම වරට ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ එක් සිසුවෙකු සේවය කරන පැයක කාලයක් සඳහා රුපියල් 350.00 ක ගෙවීමක් කිරීමට නියමිතය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථීන්ගේ සංගමය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා මූලිකත්වය ගෙන තිබෙන බව උපකුලපති මහචාර්ය එම්.ඩී ළමාවංශ මහතා කීය.
සරසවිය තුළ අනධ්‍යන සේවා සැපයීම සහ අන්තර්ජාලය ඔස්සේ සිදු කරන දැනුම හුවමාරුව සඳහා සිසුන්ට මෙම අර්ධකාලීන් රැකියා පත්වීම් ලබාදීමට නියමිතය.
රට තුළ පැන නැගී තිබෙන සමාජ හා ආර්ථික අර්බුදය හමුවේ සිසු දරුවන් විශාල ආතති තත්ත්වයකට පත්ව සිටින බවත් නව වැඩපිළිවෙළ යටතේ එක් පැත්තකින් යම් ආදායමක් ලැබෙත්දී අනෙක් පසින් සිසු ජීවිතයේ පවත්නා ඒකාකාරී බව තරමක් දුරට පහව යනු ඇති බවත් උපකුලපතිවරයා ප්‍රකාශ කළේය.
විශ්ව විද්‍යාල ජීවිතය නිමාකාර රැකියාවකට යාමේදී මෙම අර්ධකාලින රැකියා මගින් ලබාගත් දැනුම වැදගත් වනු ඇති බවත් නායකත්වය හා කණ්ඩායම් හැඟීම පමණක් නොව මහන්සි වී උපයන මුදල් වල වටිනාකම සම්බන්ධව මෙමගින් සිසුන් තුළ යම් අවබෝධයක් ගොඩ නැගෙනු ඇති බවත් ඒ මහතා කීය.
නව වැඩපිළිවෙළ කෙරෙහි සිසුන්ගේ විශාල උනන්දුවක් පවතින අතර මේවන විට සිසුන් 170 දෙනෙකු පමණ ඒ සඳහා ඉල්ලුම් කර තිබේ.ඔවුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ඔක්තෝම්බර් මස 01 වැනි දින සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed