පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයට වසර දෙසීයක් සපිරෙයි . සමරු මුද්දර හතරක් – නිමල් කොළඹිස්ස මහනුවර

 

පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයට වසර දෙසීයක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දර හතරක් සහ මුල් දින කවරයක් නිකුත් කිරිම සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්එම උද්‍යාන ශ්‍රවණාගාරයේදී ඊයේ  (12) පස්වරුවේ සිදුකෙරිණි.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින් ආර්ථික භෝග හදුන්වා දීම සඳහා වර්ෂ 1821දී රාජකීය උද්භිත උද්‍යානය පිහිටුවා තිබේ. දෙශතක සංවත්සරය නිමිත්තෙන් එම උද්භිත උද්‍යානයේ පිහිටි කුඩ ගස සහ ජාතික ශාඛාගාරය, පොකුණ සහ දර්ශනීය භූ දර්ශනය, නත්තල් කේක් ගෙඩිය සහ නත්තල් ගස සහ ගාඩ්නර් ස්මාරකය යන ස්ථානවලින් සමන්විත සමරු මුද්දර හතරක් ඒ අනුව එළිදැක්විණි. මෙරට වෘක්ෂලතා එකතුව ජාතික ශාඛාගාරය විසින් සිදුකරයි. රතු දත්ත පොත සකස් කිරීම හා එය යාවත්කාලීන් කරමින් පවත්වාගැනීම ද මෙම ආයතනය විසින් සිදුකරන අතර එම ආයතන ගොඩනැගිල්ල සහ දැවැන්ත
කුඩයක් මෙන් දිස්වන ජාවා නුග ගසින් යුක්ත සමරු මුද්දරයක් ඒ අනුව නිකුත් කොට තිබේ. අලංකාර නිල් සැල්වියා මලින් යුක්ත පොකුණ ස්මරණය කරමින් ද මුද්දරයක් නිකුත් වූ අතර කේක් ගෙඩියක හැඩය ගත් ශාක ගෘහය ස්මරණය කරමින් ද නව මුද්දරයක් නිකුත් කෙරිණි. එමෙන්ම මෙම උද්‍යානයේ දෙවන අධිකාරිවරයා වූ ජොර්ජ් ගාඩ්නර් මහතා (1844-1849) සිහිපත් කරමින් වර්ෂ 1855දී ස්ථාපිත කළ

ස්මාරකය සහිත මුද්දරයක් වශයෙන් මුද්දර හතරක් එළි දැක්වීම මෙහිදී සිදුවිය.

මුල්දින කවරවලින් යුක්තව නිකුත් කරන ලද සමරු මුද්දර නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත කේ. රණසිංහ මහතා විසින් සම්භාවනීය ආරාධිතයන් වෙත ප්‍රදානය කිරීම මෙහිදී සිදුකෙරිණි. මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, ජාතික උද්භීත උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශෙලෝමනී ක්‍රිෂ්ණරාජා මෙනවිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා, පේරාදෙණිය රාජකීය උද්භීත උද්‍යානයේ අධ්‍යක්ෂ ආචාර්ය අචලා අත්තනායක මහත්මිය, තැපැල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ශමීෂා ද සිල්වා මහත්මිය ඇතුලු පිරිසක් අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed