නීතියෙන් දඬුවම් විඳි පියා නිසා සමාජයෙන් දඬුවම් විඳින මේකලා – කාංචනා චන්ද්‍රපාල

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී මේවන විට වසර 24 ක් ගතව තිබේ. ඉදිරිපත් වූ සාක්කි සැලකිල්ලට ගනිමින් එම ප්‍රහාරයට වගකිව යුතු බවට අධිකරණය මගින් පුද්ගලයින් තිදෙනෙකුට මරණීය දණ්ඩනය සමඟ අවුරුදු 1850 ක සිර දඬුවමක් ලබා දුන්නේය. ඒ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ පුද්ගලයින් දෙදෙනෙකුට හා ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගත් තවත් පුද්ගලයෙකුටය. ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති වුවත් කවදා හෝ අත්අඩංගුවට පත්වුවහොත් ඔහුට අධිකරණය මගින් නියම කර තිබෙන දඬුවම ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි. මරණීය දණ්ඩනය නියමව බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි දෙදෙනා අතරින් එක් අයෙකු හෘදයාබාධයකින් මරණයට පත්වූ අතර මේවන විට එකී සිද්ධිය සම්බන්ධයෙන් අපට පෙනෙන පරිදි දඬුවම් විඳිමින් සිටින්නේ එක් අයෙකු පමණක් වුවත් එය සත්‍යයක් නොවන්නේය. නීතිය මගින් වැරදිකරුවන්ට දඬුවම් නියම කර තිබියදී ඊට පිටින් ගොස් සමාජය වෙතින් කාට හෝ දඬුවම් විඳින්නට සිදුවන්නේ නම් එය කිසිසේත් අනුමත කළ නොහැකි තත්ත්වයකි. මෙම අභාග්‍ය සම්පන්න ඉරණමට ගොදුරු වූ ඇය පසුගිය වසර 24 පුරාවට හෙළූ කඳුළු වල ප්‍රමාණය දන්නේ ඇයම පමණි. මෙම දුක් පීඩා විඳින්නට ඇය කළ එකම පව දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියමවූ ක්‍රිෂ්ණසාමි රාමචන්ද්‍රයන්ගේ දියණිය වීමය.මේ වනවිට අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය මගින් නියම කළ ඬුවම් විඳිමින් සිටින එකම පුද්ගලයා රාමචන්ද්‍රන් බන්ධනාගාරයට වී කඳුළු සලද්දී ඔහුගේ දියණිය වන මේකලා ට ඉන් පිටත සිට කඳුළු සලන්නට සිදුව තිබේ.

මව හා සහෝදරියත් මෙළොව හැර ගිහින්

කොටි ත්‍රස්තවාදීන් විසින් දළදා මාලිගාවට 1998 ජනවාරී මස 25 දින පෙරවරුවේ බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන විට මේකලා සිටියේ පියා,මව හා නැගණිය සමඟ නිවසේය. මේ වනවිට මව සහ නැගණිය මියගොස් සිටීම නිසා ඇයගේ ශක්තියට සිටින්නේ සැමියා හා එකම දියණිය පමණි. එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයින් ලෙස කටයුතු කළ කරුණා,පිල්ලෙයාන් වැන්නෝ පාර්ලිමේන්තුව පවා නියෝජනය කරත්දී ඇයට අද සමාජයෙන් සැඟවී ජීවත් වන්නට සිදුව තිබීම අභාග්‍යය සම්පන්න තත්ත්වයකි. එසේ ඉන්නට මේකලාට සිදුව තිබෙන්නේ පියා කොටියෙකු යැයි හංවඩු ගසමින් සමාජයේ බොහෝ කණ්ඩායම් ඇයට වෙනස්කොට සැලකීම හේතුවෙනි.රාජ්‍ය නිලධාරීන් පවා එම ලැයිස්තුවේ ඉහළින් රැඳී සිටින්නේ එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව 1955 දී ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රඥප්තිය පිළිගෙන තිබෙන පසුබිමකය.

දළදා මාලිගාවට බෝම්බ ගහනකොට මට අවුරුදු නවයයි..

දළදා මැදුරේ ප්‍රධාන වාහල්කඩ අසලදී 1998 ජනවාරී මස 25 උදෑසන 5.55 ට පමණ බෝම්බ ඇටවූ ලොරියක් පුපුරා ගියේ දළදා මැදුරට දැඩි අලාභහානි සිදු කරමිනි. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 16 දෙනෙකුට දිව අහිමි වූහ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිව් දෙනෙකු පිළිබඳව පොලීසිය කරුණු අනාවරණය කරගත්තේය. ඒ අතරින් කෙනෙකු වූ ක්‍රිෂ්ණසාමි රාමචන්ද්‍රන් ගේ අදාළ ප්‍රහාරය හා ඉන්පසු තමන්ගේ ජීවිත වල ඇතිවූ වෙනස් කම් සම්බන්ධව මෙසේ විස්තර කළාය..දළදා මාලිගාවට බෝම්බ ගැහුවා කියලා තාත්තා අත්අඩංගුවට ගන්නකොට මට අවුරුදු නවයයි. නංගිට අවුරුදු 07 යි. තාත්තා කුලී රථ රියදුරෙක්. එයාට එල්ල වෙලා තිබුණේ බෝම්බ ඇටවූ ලොරිය මහනුවර හින්දු සංස්කෘතික ශාලාවට පදවාගෙන ඇවිත් ගාල්කළා කියන එකයි. එයා එදා උතුරට ගියේ කුලී ගමනක්.ලොරිය ආපහු මහනුවරට එන අතර චෙක් පොයින්ට් එකක තාත්තාගේ නම ලියවිලා තිබුණා කියලා තමයි එයාව අත්අඩංගුවට ගත්තේ. එයා හැම චෙක් පොයින්ට් එකටම එයාගේ රියදුරු බලපත්‍රය ලබාදී තිබුණා.තාත්තා රස්සාවෙන් උපයන මුදලින් තමයි අපි ජීවත් වුණේ. 1998 පෙබරවාරි මාසේ 03 වැනිදා තාත්තාව පොලීසියෙන් අත්අඩංගුවට ගත්තා.අම්මා 2006 සැප්තැම්බර් මාසේ 30 වැනිදා හදිසියේ මියගියා.එතකොට මට අවුරුදු 17 යි. එදා ඉඳලා මමයි නංගියි තනිවුණා. අපිට අම්මත් නැහැ.තාත්තත් නැහැ. මාමා තමයි අපි ගැන හොයලා බැලුවේ.දළදා මාලිගාවට බෝම්බ ගැහුව කෙනාගේ දුව කිව්වම අපිට හැම තැනින්ම ප්‍රශ්න ආවා. පාසලේදී,පොලීසියේදී ග්‍රමා නිලධාරී කාර්යාලයේදී මේ සිදුවීම හැම වෙලාවකම ඉස්මතු කළා.වෙනස්කොට සැලකීම නිසා මොනතරම් පීඩනයක් ජීවිතයට එනවද කියන කාරනය ඇතිතරම් අත්වින්දා. බෝම්බ සිද්ධිය අපි දන්නේ නැහැ.එතකොට මට අවුරුදු නවයයි.නංගිට හයයි. ඒත් සමහරු අදත් අපි දිහා බලන්නේ අපිත් දළදා මාලිගාවට බෝම්බ ගැහුවා වගෙයි. රැකියාවකට යන්න ගියත් මේක බලපානවා. නංගී 2017 දී අසනීප තත්ත්වයකින් මියගියා…මේකලා පවසන්නේ සුසුම් හෙළමිනි.

පුවත්පත් වාර්තාවකින් තවත් අපහසුතාවට

මව හා පියා නොමැතිව නැගණිය සමඟ අසීරුවෙන් ජීවිතයට මුහුණ දෙමින් සිටියදී ඇයද මෙළොව හැරයාමෙන් මෙළොව තනිවූ මේකලා පියා වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීමටද එකළ දැඩි වෙහෙසක් ගත්තාය.මහනුවර මානව හිමිකම් කාර්යාලය ඇය පසුපසින් සිට ඇගේ දිවියට ශක්තියක් එකතු කළේය.සමාජය විසින් පමණක් නොව ස්වභාව ධර්මය විසින්ද සියලු දේ උදුරා ගනිත්දී දිරියෙන් ජීවිතයට මුහුණ දුන් ඇයට ඇගයුමක් කරන්නට මහනුවර මානව හිමිකම් කාර්යාලය සැළසුම් කළේ ජගත් මානව හිමිකම් දිනයට සමගාමීව ඔවුන් වාර්ෂිකව පවත්වන උත්සවයකදීය. පවුලේ සාමාජිකයෙකු සිරගතව සිටියදී ඔහු හෝ ඇය වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීමට කටයුතු කරන අතරතුර ජීවන අරගලය ජය ගැනීමට කරනු ලබන කැපවීම අගය කරමින් මෙවර සිරගත වූවන්ගේ පවුල් වල සාමාජිකයින් 22 දෙනෙකු ඇගයීමට ලක් කිරීමට මානව හිමිකම් කාර්යාලය සැළසුම් කර තිබිණි.පොලීසිය විසින් අධිකරණයෙන් වාරණ නියෝගයක් ගෙන උත්සවය තහනම් කරන්නට කටයුතු කළේ මේ පිරිස අතරින් මේකලා මූලික කරගෙනය.අධිකරණය මගින් ලබාදුන් වාරණ නියෝගය පදනම් කරගනිමින් පොලීසිය විසින් ලබාදුන් තොරතුරු ඔස්සේ දිනපතා ජනප්‍රිය පුවත්පතක මුල් පිටුවේ ප්‍රවෘත්තියක් පළ කළේ දළදා මාලිගාවට බෝම්බ ගසා මරණ දඬුවම නියමවූ කොටියාගේ දුවට උපහාර දෙන්න හදලා…… මහනුවර උළෙලක් උසාවි නියෝගයෙන් තහනම්…. යන සිරස්තලය යටතේය. අදාළ ප්‍රවෘත්තිය සියලු නාලිකාවන්හි උදෑසන පත්තර විස්තරය ඔස්සේද ප්‍රචාරය වීම නිසා මේකලා පත්වූ අසීරුතාව කෙබදුද යන්න අමුතුවෙන් කිවයුතු නොවන්නේය.

තාත්තා සිරගත වෙලා අවුරුදු 24 යි මට තාමත් මේකෙන් ගැලවීමක් නැහැ…..

තාත්තා සිරගත වෙලා දැන් අවුරුදු 24 ක්.තාමත් මේ සිදුවීමෙන් අපට ගැලීවමක් නැහැ.මේ ප්‍රවෘත්තිය පළා වුණාට පස්සේ මට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති වුණා.මම විවාහකයි.දරුවෙක් ඉන්නවා. මේ වෙන දේවල් දැක්කම මම දන්නවා මගේ දරුවටත් මේක බලපානවා කියලා.තාත්තා වරදක් කළේ නැහැ.මම ඒක දන්නවා.නමුත් නීතිය ඉදිරියේ එයා වැරදිකරු වෙලා ඉවරයි.අපිට මේ විදිහට සලකන්න අපි කළ වරද මොකක්ද?…. මේකලා අපෙන් විමසයි…

මේ ප්‍රශ්නය නිසා අධ්‍යාපනයත් කඩාකප්පල් වුණා

මහනුවර මානය හිකමිකම් කාර්යාලයේ සම්බන්ධීකාරක ලුසිල් අබේකෝන් මෙණවිය ‍මේකලාගේ ගැටලු වෙනුවෙන් නිරන්තරව පෙනී සිටි අයෙකි.ඇය මේකලා සම්බන්ධව දක්වන්නේ මෙවන් අදහසකි.
මේ සිදුවීම නිසා මේකලාට ගොඩක් දේවල් අහිමි වුණා.පුවත්පත් වාර්තාව පළවුනාට පස්සේ පියාගේ මිතුරන් දුරකතනයෙන් කතා කරලා ඇයි ආයෙත් ප්‍රශ්නයක් කියලා අහලා තිබුණා.මේක තව පරම්පරා කීයකට යයිද කියලා එයා අහනවා.මේ ප්‍රශ්නය මගෙන්වත් ඉවර වෙන්න ඕන කියන තැනට තමයි මේකලා දැන් පත්වෙලා ඉන්නේ.මොකද එයා මුහුණ දීලා තියෙන දේවල් එක්ක මේ ප්‍රශ්නයෙන් එයාට මේ ආත්මයේදී ගැලවීමක් නොලැබෙන බව එයාට තේරිලි තියෙනවා.මහනුවර මානව හිමිකම් කාර්යාලට පැමිණි උඩ පේරාදෙණියේ කාන්තාවක් තමයි මේකලාව අපි ළඟට යොමු කළේ.එයා කිව්වා තාත්තාගේ නඩුවට පෙනී ඉන්න නීතිඥ මහත්වරුන්ටවත් ගෙවා ගන්න විදිහයක් නැතුව ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා.මව මියගොස් පියා සිරගත වූණාට පස්සේ මේ දරුවෝ දෙන්නගේ අධ්‍යාපනයත් කඩාකප්පල් වී තිබුණා.

පියා සිරදඬුවම් විඳිනවා කියා දරුවෙකුට ඇගයුමක් ලබන්න නොහැකිද ?

මහනුවර මානව හිමිකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නන්දන මනතුංග පියතුමා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය..මේ දරුවා අම්මා මියගිය දවසේ පටන් තාත්තා නිදහස් කර ගැනීම සඳහා අපිත් එක්ක එකතු වෙලා ලොකු මහන්සියක් ගත්තා.මේකලා ඇත්තටම අභියෝග ඉදිරියේ නොසැලී ඒවාට මුහුණ දුන් දරුවෙක්.ඒ නිසයි අපි ඇයව ඇගයීමට ලක්කරන්න තීරණය කළේ.මෙතනදී ඇගයීමට ලක්කිරීමට නියමිතව තිබුණේ ඇය පමණක් නොවෙයි.සිරගතව සිටින අය වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීමට කටයුතු කරන අතර ජීවන අරගලයට දිරියෙන් මුහුණ දුන් 22 නෙකු ඇගයීමට අපි සූදානමින් සිටියා.තාත්තා සිරදඬුවම් විඳීම නිසා ඇයට ඇගයුමක් ලබන්න බැරිද?.මලල ක්‍රීඩා තරඟයකට සහභාගි වී ඇය ජයග්‍රහණයක් ලබා ගත්තොත් ඒ ජයග්‍රහණය ඇයට ලබා දෙන්නේ නැද්ද?.ඇයි අපි සමාජයක් ලෙස මේ දරුවාට වෙනස්කොට සලකන්නේ.තාත්තා වරදක් කළා නම් එහි දඬුවම් දරුවනුත් විඳින්න ඕනද? මේවා සුළුවෙන් තැකීමට පුළුවන් දේවල් නෙවෙයි.

නොකළ වරදකට දඬුවම් විඳීමට සිදුවීම

මානව හිමිකම් ක්‍රියාාකරී රුකී ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙවන් අදහසකි……
මේක එක පැත්තකින් වෙනස්කොට සැලකීමක් අනිත් පැත්තෙන් බොහොම අමානුෂික දෙයක්.යම් පුද්ගලයෙකු විසින් සිදුකරන්නට ඇති හෝ සිදුකළ බවට සැක කෙරෙන ඕනෑම අපරාධයක් වෙනුවෙන් ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයින් වගකිවයුතු හෝ දඬුවම් නොලැබිය යුතු බවට මූලධර්මයක් තිබෙනවා.මේකලා ජීවිතයේ අවස්ථා කිහිපයකදීම පියාට හිමිවූ දඬුවම පදනම් කර ගනිමින් සමාජය වෙතින් වෙනස් කොට සැලකීමේ අත්දැකීම දරුණු විදිහට අත්විඳ තිබෙනවා.අගය කිරීමක් ලැබීම සඳහා සුදුසු යැයි තෝරාගත් පුද්ගලයෙකුට එම අවස්ථාව අහිමි කරන්නේ ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයෙකු විසින් යම් අපරාධ කළ බැවින් හෝ එසේ කළ බවට චෝදනා නගා ඇති නිසා නම් මෙය එකී මූලධර්මය කඩකරන අවස්ථාවක් බව පැහැදිලියි.

මේක පැහැදිලිවම වෙනස්කොට සැලකීමක්

අධිනීතීඥ ලාල් විජේනායක මහතා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසුවේය.මෙතන පැහැදිලි ලෙසම මානව හිමිකම් කඩවීමක් සිදුව තිබෙනවා.මේ තරුණියට වෙනස්කොට සලකා තිබනේනේ කිසිදු පදනමක් නොමැතිවයි.ඇයට සමාජයෙන් ඇගයුමක් ලබන්නට පියා කළ වරද නිසා නොහැකි වෙනවා නම් එතන ප්‍රශ්නයක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (2) අනුව කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේය කියලා දක්වා තිබෙනවා.මෙම සිදුවීමේදී පැහැදිලි ලෙස මේ තරුණියට වෙනස්කොට සැලකීම කියන කාරනය පැහැදිලිව දකින්න පුළුවන්….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *