බොරුව රජ වෙලා මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමි – මහනුවර වාර්තාකරු

අවුරුද්දේ තුන්සිය හැටපස් දවස පුරා බණ අහන රටේ සොරකම,බොරුව,වංචාව,අල්ලස,දූෂණය ඉහළ සිට පහලටම කාන්දු වී ඇතැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති.
පාසලට ඇතුළු කරන මොහොතේ සිටම දරුවාට බොරු කියන්නට දෙමව්පියන්ම පුරුදු පුහුණු කරත්දී යහපත් අනාගත පරපුරක් ගොඩනැගෙන්නේ කොහොමදැයි සිතාගත නොහැකි බවද උන්වහන්සේ කීහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම,ජී.එල් පීරිස් යන මහත්වරු ඇතුළු නිදහස මන්ත්‍රී කණ්ඩායම අද  (09) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ අනුනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

මේ රටට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යය බවත් පවතින ක්‍රමය යටතේ ආර්ථිකය බිඳවැටී විවිධ සමාජ අර්බුද ගොඩනැගුණු බව පක්ෂ බේදයෙන් තොරව සැවොම පිළිගන්නා බවත් විමලධම්ම නාහිමියෝ පැවසූහ.
තට්ටුමාරු ක්‍රමයට බලය හුවමාරු වෙමින් පැමිණි දේශපාලන ක්‍රමය නිසා අද රට ලෝකයේ ඉතාමත්ම නරක තැනකට වැටී තිබෙන බවත් පවතින ක්‍රමයේ වැරදි නිසා එම තත්ත්වය ඇතිවී තිබෙන්නේ නම් තවත් ඒ මත රැඳීසිට කටයුතු කිරීම තේරුමක් නොමැති බවද උන්වහන්සේ අවධාරණය කළහ.

තරුණ කොටස් අරගල කරන්නට පටන් ගත්තේ මේ ක්‍රමයේ වෙනසක් අපේක්ෂාවෙන් බවත් පාලකයින් එය තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් බවත් අනුනාහිමියෝ පැවසූහ.
ඉන්දියාව ශ්‍රී ලංකාව මෙන් හැටපස් ගුණයක් විශාලත්වයෙන් යුතු වුවත් අපේ රටේ තරම් ඇමැති මණ්ඩලයක් ඔවුන් නඩත්තු නොකරන බවත් රට මේ පත්ව තිබෙන අසීරු අවස්ථාවේ මෙතරම් විශාල ඇමැති මණ්ඩල නඩත්තු කිරීම ජනතාවට දරාගත නොහැකි බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *