සර්ව පාක්ෂික ආණ්ඩුවක් , ජනපති නුවරදී කියයි – නිමල් කොළඹිස්ස – මහනුවර

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නුදුරේදීම පත් කොට සමස්ථ පාර්ලිමේන්තුව එක් ආණ්ඩුවක් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පවතින අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා ලිච්ඡවී රජ දවස මෙන් ස්ථාවර පාලන තන්ත්‍රයක් අවශ්‍ය බව ජනාධිපතිවරායා කීවේය.

මහනුවරට පැමිණි ජනාධිපතිවරයා  (30) පස්වරුවේ මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේදී මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්කෝන් මහතා විසින් ජනාධිපතිවරයා පිළිගන්නා ලදි.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ඇතුලු කාරක සංඝසභාවේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයාට ආශිර්වාද ගැන්වීම සිදුවිය.

මහා සංඝරත්නය පිරිත් සඤ්ඤායනා කොට ආශිර්වාද කිරීමෙන් අනතුරුව සිය කෘතවේදීත්වය පළ කරමින් ජනාධිපතිවරයා අදහස් දැක්වීය.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අඩිතාලම යොදන බව කී ජනාධිපතිවරයා, වර්ෂ 2023 හා 2024 වන විට වර්තමානයේ පවතින ආර්ථීක දුෂ්කාරතාව සම්පූර්ණයෙන් තුරන් කිරීමට අපේක්ෂා කරන බව කීවේය.

රෝගයෙකු ඖෂධ ලබාදී සුවපත් කරනවාද නැත්නම් බෙහෙත් නොදී මරණයට පත් කරනවා ද යන විකල්ප දෙකින් වඩාත් සුදුසු විකල්පය තෝරා ගත යුතුව ඇතැයි කී ජනාධිපතිවරයා රට සුවපත් කර ගැනීම වඩා වැදගත් බව ප්‍රකාශ කළේය.

ඉදිරි කෙටි කාලය තුළදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, සමාජ සංවර්ධන, සෞඛ්‍ය හා අධ්‍යාපනය දියුණූ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

රටට නව මාවතක ගමන් කළ යුතුව ඇතැයි කී ජනාධිපතිවරයා, සාර්ථක විකල්ප ලබා ගැනීම සඳහා විද්වතුන්ගේ සහයෝගය ලබා ගන්නා බව ද වැඩිදුරටත් කීවේය.

මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල හිමි, ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය මහවෙල රතනසාර හිමියන් මෙහිදී අනුශාසනා කථා පැවැත්වූහ.

අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු මහා විහාරයට පැමිණ එහිදී මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක කෙටි පිළිසඳරක නිරතවූහ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ද මේ අවස්ථාවට එක්වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed