පාර්ලිමේන්තුවේ මතය හා ජන මතය – බර්නාඩ් එදිරිසිංහ ලියයි

රාජපක්ෂ රෙජිමයේ  දිගුවක් ලෙස වැඩි දෙනෙකු විසින් සලකන ජනපති රනිල් වික්‍රමසිංහ විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම පිණිස පැවැත්  වු  විවාදය තුළ දි මතු වු වැදගත් සංවාදයක් වුයේ ‘මහජන මතය’ පාර්ලිමේන්තුව තුළ නියෝජනය වන්නේ ද නැද්ද යන්නයි.

හදිසි නීති විවාදයට එක් වු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වැඩි දෙනෙකු ගේ තර්කය වුයේ ‘මහජනතාවගේ ව්‍යවස්ථාදායක බලය නියෝජනය කරමින් මහා මැතිවරණයකින් පාර්ලිමේන්තුවට තේරි පත් වි සිටින මහජන මන්ත්‍රීවරු 225 මිළඟ මහා මැතිවරණය තෙක් මහජන මතය නියෝජනය’ කරන බවයි. මෙම මතය සෘජුවම ප්‍රකාශ කළ අමාත්‍යවරයා වුයේ කෙහෙළිය රඹුක්වැල්ල යැයි කිව හැක. ඔහුගේ තර්කය වුයේ ‘ව්‍යවස්ථාවයි ජනමතයයි පටලවා ගත යුතු නැති බවයි. ව්‍යස්ථානුකූලව ඡන්දයකින් තේරි පත් වි ඇති ආණ්ඩුවකට මහජන මතය ව්‍යස්ථානුකූලව නියෝජනය කිරීමේ බලය තිබේ. කුඩා කණ්ඩායමක් විසින් තමන් ජනමතය නියෝජනය කරන බව ප්‍රකාශ කිරීම ම නීති විරෝධි බව’ ට ඔහු තර්ක කළේය.  විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම තර්කයට සෘජුවම පිළිතුරු දීමට ඉදිරිපත් නොවුවත් ඔවුන් ගේ තර්කය වුයේ ‘භූමියේ යථාර්ථය පාර්ලිමේන්තුව තුළ පිළිබිඹු නොවන’ බවත් එ් නිසා පාර්ලිමේන්තුව තුළ මහජන මතයට කන් දීමක් සිදු විය යුතු බවයි.

මහජන මතය යනු කුමක්ද?.

මහජන මතය පිළිබඳ ශ්‍රී ලංකික සමාජයේ පවතින සංවාදය තුළ පසුගිය වර්ෂ දෙතුන් සියය තුළ දේශපාලන විද්‍යාඥයින් විසින් විස්තර කිරීමට උත්සාහ කළ මහජන මතය පිළිබඳ විවිධ මතවාද නිරූපනය කරයි. ඉන් එක් මතවාදයක් වන්නේ ජෙරමි බෙන්තම් (1748-1832) ප්‍රකාශ කළ පරිදි ‘ආණ්ඩුවේ බලය විනාශකාරි ලෙස භාවිතා කිරීම පරික්ෂා කිරීමට තිබෙන එකම බලය’ මහජන මතය බවයි. මහජන මතය වනාහි ආණ්ඩුවක් පිළිබඳ විනිශ්චය කරන ප්‍රසිද්ධ මහජන ජුරි සභාවක් වශයෙන් සැලකු ඔහු, ප්‍රබුද්ධ මහජන මතයක් ඇති කිරීම පිණිස ආණ්ඩුව විසින් ගනු ලබන සියලුම තීන්දු තීරණ  මහජනයාගේ දැන ගැනීම පිණිස ප්‍රකාශයට පත් කළ යුතු බව කියා සිටිමින් මහජන මතයට අතිවිශාල වැදගත්කමක් ලබා දුන්නේය. අනිත් අතට ඇලෙක්සි ටොකුවිල් ( 1805-1859) මහජන මතය සැලකුවේ අතිශය භයානක විනාශකාරි දෙයක් වශයෙනි. ඇලෙක්සි ඩි ටොකුවිල් 19වන සියවසේ ඇමරිකානු ජන සමාජය ගවේෂණය කරමින්  ලද අත්දැකිම් මත කියා සිටියේ ‘ඇමරිකානු සාමාන්‍ය ජනතාව අතිවිශාල දේශපාලන බලයක් භූක්ති විදිති. මහජනයා ඉදිරිපත් කරන විවිධ අදහස් වලට එක සමාන වටිනාකමක් ලැබේ. එම අදහස් උදහස් සැලකිල්ලට ගෙන මධ්‍යස්ථ මතයක් ගොනු කර ගැනීමට එමඟින් මාවතක් විවෘත වන වෙයි. නමුත් මෙවැනි ක්‍රියාවලියක දි බුද්ධිමතුන් හා උසස් නිලධාරින් දේශපාලන තීන්දු තිරණ ගැනීමේ ක්‍රියාවලියෙන් ඈත් වන’ නිසා ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාවලියක් තුළ මහජන මතය විනාශකාරි විය හැකි බවට ඔහු තර්ත කළේය.

ජන අරගලය ජන මතයක් ද?

අද මහජනතාවගේ තොරතුරු සන්නිවේදනයේ ප්‍රධාන මෙවලම වන්නේ ස්මාර්ට් ජංගම දුරකථනය ඔස්සේ සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසිමයි. අතිතයේ දි පුවත් පත් හා ගුවන් විදුලියත් පසුව රූපවාහිනි නාලිකාත් විසින් නිෂ්පාදනය කොට ටැංකි වලට ජලය පුරවන ආකාරයට මහජනතාව වෙත බෙදා හරින ලද තොරතුරු අද පසෙකට තල්ලු වි හමාරය. මිට සමගාමිව පස්වසරක ජන වරමින් උද්දාමයට පත් වි සිටි දේශපාලකයින් විසින් සමාජ මාධ්‍ය ජාලා විසින් ජනතාවට තොරතුරු ලබා දීමත්, ඔවුනොවුන් අතර තොරතුරු හුවමාරු කර ගැනීම ක්‍රියාවලියේ ප්‍රතිඵළ තක්සේරු කරන ලද්දේ ඉතා ලිහිල් ආකාරයකිනි. දේශපාලකයින් උපකල්පනය කළේ තොරතුරු පාලනය කිරීම සම්බන්ධයෙන් තමන්ට පෙර තිබු ආධිපත්‍ය තවමත් තිබෙන බවයි. නමුත් සමාජ මාධ්‍ය ජාලා මගින් එම ආධිපත්‍ය කඩා බිඳ දමන ලදි. පෙර රාජ්‍ය මාධ්‍ය හා ආණ්ඩුවට හිතවත් මාධ්‍යයන් විසින් ජනතාවගේ ‘ඔළුව’ හැදු අතර දැන් ඒ කාර්ය  ජනතාව විසින්ම ජනතාව සඳහා ඉටු කරයි. එදා රාජ්‍ය මාධ්‍යයට හා ආණ්ඩු හිතවාදි මාධ්‍යයට ජනතාව පරිහරණය කළ යුත්තේ කවර මාදිලියේ තොරතුරු දැයි පාලනය කිරීමේ බලයක් තිබින. ස්මාර්ට් ෆෝන් තුලින් ජනතාව අතර එන සමාජ මාධ්‍ය ජාලා අඩවි වලදි ජනතාවම තමන්ට වැදගත් යැයි සිතෙන තොරතුරු හුවමාරු කර ගනියි.

ජන මතය සමාජ මාධ්‍ය ජාලා තුළ නිරූපනය වන්නට පටන් ගත් අතර එහි එක් සටන් පාඨයක් වුයේ ‘ පාර්ලිමේන්තුවේ 225 ම එපා ’ යන්නයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  සම්බන්ධ මෙම විරෝධය අද ඊයේ ඇති වුවක් නොවේ. 2015 මහා මැතිවරණය සමයේ දි බත්තරමුල්ල පැලවත්තේ කුඩා ව්‍යාපාරයක් පවත්වා ගෙන යන කාන්තාවක් ‘මුන් 225ම එලවා දැමිය යුතුයැයි’ ඇඳිවත දණහිස දක්වා ඔසවමින් කියා සිටි ආකාරය ලියුම්කරුට තවමත් සිහිපත් කළ හැකිය. මෙම කර්කශක විවේචන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  කියවා ගත්තේ සිය බඩගොස්තරවාදයට එල්ල කරන පහරක් වශයෙන් මිස මහජන නියෝජිතයින් වශයෙන් සිය කාර්යභාරය ඉටු නොකිරීම පිළිබඳ විවේචනයක් වශයෙන් නොවේ. රාජපක්ෂ රෙජිමය මෙන්ම ඊට පෙර පාලන තන්ත්‍ර විසින්  ජනපති ධුරය හා කැබිනට් මණ්ඩලය සිය ග්‍රහණයට ගෙන තිබින. මුල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තිබෙන බලය නොසලකා හරිමින් ජනපති-කැබිනට් මණ්ඩලය ගනු ලැබු තීන්දු පාර්ලිමේන්තුවෙන් වසන් කරන ලදි. ශ්‍රී ලංකාව විදේශීය විනිමය හා රුපියල් හිඟයකට මුහුණ දෙමින් සිටින බව පාර්ලිමේන්තුවෙන් වසන් කිරීම ඊට එක් උදාහරණයකි. පාර්ලිමේන්තුව කෙරෙහි ඇති කළ කිරීම කොපමණ දුරට වර්ධනය වුයේ ද යත් මහජනතාව ආහාර පාන සඳහා පෝලිම් වල පෙළ ගැසේද්දී පාර්ලිමේන්තු භෝජනාගාරය මහජන නියෝජිතයින් සන්තර්පණය කරන අයුරු පවා විවේචනය ලක් කෙරිණ.

මහජන මතය ඇලෙක්සි ඩි ටොකුවිල් කියන ආකාරයට මහජන මන්ත්‍රීවරුන්ට ව්‍යවස්ථාවෙන් ලැබි තිබෙන බලය හා වරප්‍රසාද අභියෝගයට ලක් කරන කාල බෝම්බයක් නොවේ. අතීතයේ දි දේශපාලකයින් හා පුවත් පත් හිමි ව්‍යාපාරික පංතිය එකම සමාජ පංතියකින් පැමිණි අතර ඔවුහු ජන මතය තමන්ට රිසි පරිදි නිර්මාණය කළහ. නමුත් දැන් ජනමතය ජනතාව විසින් ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිර්මාණය කරති. ඒ නිසා ජේරමි බෙන්තම් කීවාක් මෙන් ජනමතය අද එදාටත් වඩා මහජන විනිශ්චය සභාවක් වි තිබේ. ඉන් ගැලවීමට උත්සාහ කරනු වෙනුවට ඊට කන් දීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ වගකීම වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed