නව ජනපති ඉදිරියේ ඇති අභියෝග – බර්නාඩ් එදිරිසිංහ ලියයි

නව ජනපති ඉදිරියේ ඇති අභියෝග

මීට මාස හයකට පමණ පෙර හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් නෙරපා හැරිය හැකියැයි කිසිවෙකුත් නොසිතූහ. ජුලි 9 දින සිදු වු ශ්‍රී ලංකික මෙන් ලෝක ඉතිහාසයේ ද ලියවෙන එම සිදුවිමේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනපති වශයෙන් පාර්ලිමේන්තුවෙන් තෝරා පත් කෙරිණ. 2024 නොවැම්බර් දක්වා බලයේ සිටිය හැකි ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ඇති අභියෝග කවරේද ?

  • ණය ප්‍රතිව්‍යුහගත කිරීම-

ශ්‍රී ලංකාව දැනටමත් ජාත්‍යන්තර මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් සිය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කොට ඇති රාජ්‍යයකි. පසුගිය දා මහා බැංකු අධිපතිවරයා කියා සිටියේ දැනට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙතින් ආධාර ලබා ගනු මිස අන් විසඳුමක් ශ්‍රී ලංකාවට නොමැති බවයි. එම ක්‍රියාවලියේ දි මහජන චිනයේ භූමිකාව ඉතාමත් තීරණාත්මක වෙයි. ඊට හේතුව මහජන චිනය ශ්‍රී  ලංකාවේ ජාත්‍යන්තර ණය බරින් 10 % දරා සිටියත් ඔවුන් එම ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟත්වය පළ කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගිවිසුම අත්සන් කිරීමට පෙර සිදුවිය යුතු විමයි. සැම්බියාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මැදිහත් විමෙන් එරට විදේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරිිම සිදු කළ අවස්ථාවේ මහජන චිනය ඒ සඳහා වර්ෂයක කාලයක් ගෙන තිබිණ. මහජනතාව සැනසීම පිණිස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාහය කඩිනමින් ලැබේ යැයි විටින් විට ප්‍රකාශ වුවත් එය අපේක්ෂිත කාලයට වඩා දිර්ඝ විය හැකියි. විශාලම අභියෝගය විය හැක්කේ ජාත්‍යන්තර දේශපාලනය තුළ ඇමරිකන්-ජපන්-ඉන්දිය කඳවුරේ සාහය ලබන රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාට මහජන චිනය කවර ආකාරයක සහයෝගයක් ලබා දෙයි ද යන්නයි.

  • ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීම-

දැනට ප්‍රකාශයට පත් කොට ඇති ජාත්‍යන්තර වාර්තාවලට අනුව 63 ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් නිල වශයෙන් දිළින්ඳන් බවට පත් වි අවසන්ය. මෙම 63 ලක්ෂයේ ආහාර අවශ්‍යතා, ගෑස්, ඉන්ධන, බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් ලබා දිම නව ජනපතිවරයාගේ ප්‍රමුඛත්වය වුවත් එය අභියෝගයකි. ඊට ප්‍රධාන හේතුව ඒ් සඳහා අවශ්‍ය විදේශ විනිමය හා දේශිය මුදල් හිඟ විමයි. මේ සඳහා පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාරික ආයතන විකුණා දැමිම (උදා- ශ්‍රී ලංකා ගුවන් සේවය, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය) දුෂ්ට චක්‍රයකට මග පාදන මුදල් මුද්‍රණය කිරිම වැනි පියවරවල් නව ජනාධිපතිවරයා නායකත්වය දරන ආණඩුවට ගැනීමට සිදුවනු නොඅනුමානය. එවැනි පියවරවල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මෙන්ම දැන් ආණ්ඩුවේ කටයුතු පිළිබඳ සුපරික්ෂාකාරිව සිටින පුරවැසියන් ඇතුලු අරගලකරුවන් ගේ ප්‍රතිචාරයට ජනාධිපතිවරයාට මුහුණ දිමට සිදු වනු ඇත.

  • පාර්ලිමේන්තුව බල ගැන්වීම-

පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ වර්ධන වි තිබු නොසතුට හා කලකිරීම අරගලකරුවන් විසින් ‘225ම එපා‘ යන සටන් පාඨය ඉදිරිපත් කිරිමෙන් කුළු ගැන්වි තිබේ. ඉන් කරුණු දෙකක් අදහස් වේයැයි කිව හැක. පළමුවැන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භූමිකාව සම්බන්ධයෙන් මහජනයා ගේ තිබෙන විවේචනයයි. දෙවැන්න ඉතා සියුම් අන්දමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙත් ආශිර්වාදය මැද පාර්ලිමේන්තුව බලය සෝදාපාළුවට ලක් කිරීමයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ගෝලීය දමිළ සංසදය සිදු වි ඇති ආණ්ඩු වෙනස් කිරීම මගින් “පාර්ලිමේන්තුව ප්‍රමාණවත් සංවරණ සහ තුලනයන් සහ ජනතාවට පූර්ණ වගවීම සහිත බල කේන්ද්‍රය විය යුතු බවත්,  පාර්ලිමේන්තුව බල ගැන්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් සමන්විත සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සහ බහුත්වවාදී නවීන රාජ්‍යයකට මඟ පෑදිය යුතු ‘ බවටත්  කර තිබෙන ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරිිම පිණිස නව ජනපතිවරයාට ඇති අභියෝගය සාරංශ කොට දක්වයි.

ජනතාව අපෙක්ෂා කරන ප්‍රතිසංස්කරණ හුදෙක් පාර්ලිමේන්තුව බල ගැන්වෙන ඒවා පමණක් නොව ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් දෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අවශ්‍යතාව ද ඉන් අවධාරණය කෙරේ.

  • රාජපක්ෂ රෙජිමය අවසන් කිරීම

විධායක ජනපතිවරයා නීතියට ඉහළින් සිටින සර්ව බලධාරි අධිකාරිවාදි පාලකයෙකු ගේ තත්ත්වයට පත් කළ 20 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට 19 වන ව්‍යවස්ථා සංශෝධනය යලි පිහිටුවන බව දැනටමත් ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇති අතර ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකියන බවට සහතික විම පිණිස ඒ් සඳහා වු නව නීති රිති රෙගුලාසි හඳුන්වා දිම අවශ්‍යවේ. 2019 සිට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් ගනු ලැබු අතාර්කික ප්‍රතිපත්ති තීන්දු තීරණ ආපසු හැරවිය යුතු අතර සිදු කරන තිබෙන මුල්‍ය වංචාවන් සම්බන්ධයෙන් කඩිනම් නීතිමය පියවරයන් ගැනීම අත්‍යවශ්‍ය වෙයි. පකිස්ථානයේ ඉම්රාන් ඛාන් බලයට පත් වු පසු හිටපු අගමැතිවරයා නීතිමය ප්‍රතිපාදන යටතේ සිර ගත කිරීම මේ සම්බන්ධයෙන් නිතර උපුටා දක්වන උදාහරණයකි.

රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාගේ ප්‍රමුඛ කාර්ය ‌ ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම මිස වත්මන් අර්බුදයට වැරදිකරුවන් සෙවිම නොවන බව ඔහු දැනටමත් ප්‍රකාශයට පත් කොට තිබේ.

ජන අරගලකරුවන් හා ඔවුන් සමග අත්වැල් ‍බැඳ ගෙන සිටින වෘත්තීය සමිති හා බහුජන සංවිධාන පමණක් නොව විවිධ වෘත්තිකයින් ගේ සංවිධාන ද රනිල් වික්‍රමසිංහ හැඳින්වුයේ රාජපක්ෂ රෙජිමයේ ආරක්ෂයෙකු වශයෙනි. මේ නිසා රාජපක්ෂ රෙජිමය අවසාන කළ යුතු යැයි සනිටුහන් කොට ගත් විවිධ පාර්ශවයන් රනිල් වික්‍රමසිංහ ගේ ජනපති ධුර ප්‍රාප්තිය පිළි නොගනු ඇත.

අරගලකරුවන් ගේ අරමුණු වන රෙජිම වෙනස් කිරීම හා ක්‍රමය වෙනස් කිරීම එක් රැයකින් සිදු නොවන බව අධිකාරිවාදීන්ට එරෙහිව ලොව පුරා සිදුවන සිදුවි ඇති ජන අරගල අපට පෙන්වා දෙයි. ජනතාව ඉල්ලා සිටින ප්‍රතිසංස්කරණ අදියර දෙකකින් සිදු වන බව නිරික්ෂණය කළ හැකි අතර ඉන් ප්‍රථම අදියර වන්නේ රෙජිම දෙදරා යන විට ඇති වන අවිනිශ්චිත තත්ත්වය සමග බලයෙන් පහ වන දේශපාලනඥයින් සිය බලය රැක ගැනීමට යොදන විවිධ උපාය මාර්ග හා අරගලකරුවන් සිය අරමුණ දිනා ගැනීමට නොකඩවා කරන සටනයි. යුදමය තත්ත්වයකට සමාන කළ හැකි මෙම අවස්ථාව තුළින් නිර්මාණය වන දෙවන අදියරේ දි පරණ රෙජිමය යළි බලයට පත් විම හෝ නව ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයක් බිහිවිම හෝ සිදුවිය හැකියි. ශ්‍රී ලංකාවේ ජන අරගලය ප්‍රජාතන්ත්‍රවාදි දෙවන අදියර කරා ගෙන යනවාද එසේ නැත්නම් රාජපක්ෂ රෙජිමය යළි බලයට පත් කිරීමට ක්‍රියාකරනවාද එසේ නැත්නම් එම ක්‍රම දෙකෙහෙිම මිශ්‍රණයක් ලෙස ඉදිරිපත් කළ හැකි ‘හයිබ්‍රිඩ්‘ පාලන ක්‍රමයක් කරා යනවා ද යන්න තීන්දු කිරීම  නව ජනපතිවරයා සතු වගකීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *