ලංකාවේ ලොකුම  පරිසර විනාශය බලන්න පන්නලට එන්න – ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න

 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක මේ දිනවල ජයටම වැලි ,මැටි හා බොරළු ජාවාරම් සිදු වෙයි . මේ හේතුවෙන් වැඩිම හානිය සිදුව ඇත්තේ මාඔයට හා තඹකන්ද ග්‍රාමයට යි .මේ පරිසර විනාශය සදහා ප්‍රදේශයේ දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් වගකිවයුතු බව ගම්මුන් පෙන්වා දෙයි .

“මේ ප්‍රදේශයට තඹකන්ද කියල කියන්නේ, රජ කාලේ තඹ නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ ප්‍රදේශයේ නිසයි . එදා රජ දවස මේ සියලු දේ සිදු වුනේ පරිසරයට හානියක් නොකර අනාගතය ගැන හිතලයි . වර්තමානයේ මේ ප්‍රදේශයේ බහුල වශයෙන් ජිවත් වෙන්නේ ගොවිතැන් කරලා ජිවත් වෙන මිනිස්සු . මේ ප්‍රදේශයේ සුළු පිරිසක් එකතු වෙලා රටේ පාලකයන්ගේත් අනුදැනුම මත , ඔවුන්ගේත් සහයෝගය අරගෙන කඳු ටික කපලා ජල පෝෂක ප්‍රදේශ විනාශ කරලා විශාල විනාශයක් කරනවා . මේවට පාලකයෝ වග කියන්න ඕනෑ . අපි පාලකයන්ගෙන් ඉල්ලන්නේ මේ ගමට ඇවිල්ලා බලලා අපිට සාධාරණයක් කරන්න කියලයි ” ඒ හිඹුඩාව ගංගාරාම විහාරස්ථානාධිපති කරදගොල්ලේ සෝමරතන හිමි . උන්වහන්සේ මේ ප්‍රකාශය සිදුකිරීමට ප්‍රධාන වුයේ පන්නල පොලිස් වසමට අයත් ගම්මාන කීපයක මේ වන විට සිදුවන මහා පාරසරික විනාශය පිලිබදව රට ලෝකය දැනුවත් කිරීම සදහායි .

 

“තඹකන්ද ” නමැති ග්‍රාමය මුල් කරගනිමින් ස්ථාන පනහකට වැඩි ප්‍රමාණයක සිදුවන වැලි ,මැටි ,බොරළු ඛැනීමේ ජාවාරම් හේතුවෙන් මේ පාරීසරික විනාශය සිදුවන බවද සෝමරතන හිමියන් පෙන්වා දුන්හ .

 

තඹ නිදිය

” තඹකන්ද ” වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් වසමේ පිහිටි ඉතා සුන්දර ග්‍රාමයකි . ග්‍රාමය මැදින් මාඔය ගලා බසින අතර “තඹකන්ද ” නමැති කන්ද ගමට ජවයක් හා ශක්තියක් ලබා දෙමින් බැබලෙයි . “තඹකන්ද ” කදු පන්තිය වටා තඹකන්ද , සදලංකාව හා හෙන්ඩියගල යන ගම්මාන තුන පිහිටා ඇති අතර මෙහි වාසය කරන පවුල් ගණන පන්දහාසකට අධිකයි .
මාඔය හා තඹකන්ද මුල් කරගනිමින් සැදුනු ආර්ථික රටාවකට හුරු පුරුදු වූ මෙහි වෙසෙන ජනතාවගේ ප්‍රධාන ජිවත් වීමේ මාර්ගය ගොවිතැනයි . ඒ අනුව වී ගොවිතැනට අමතරව පොල්, බුලත් , අන්නාසි කෙසෙල් ,ගම්මිරිස් , මෙන්ම රබර් වගාවද මෙහි දැකගත හැක . අතීතයේ සිට මේ ප්‍රදේශයේ ජනතාව මැටි ආශ්‍රිත කර්මාන්ත වල ද නිරත වී ඇති අතර ඔවුන් ඒවා කර ඇත්තේ දෑතේ කර්මාන්තයක් ලෙසයි . එදා දෑතේ කර්මන්තයක්ව පැවතී මැටි ආශ්‍රිත කර්මාන්ත ක්‍රම ක්‍රමයෙන් පරිවර්තනයනට භාජනය වී අද වන විට විශාල යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් සිදු කරන මහා පරිමාන ජවාරම් බවට පත්ව තිබේ . මේ හේතුවෙන් මේ ප්‍රදේශයේ බහුතර ජනතාවකට උන්හිටි තැන් අහිමිව රැකියාව පවා අහිමිව යන තත්වයක් උදා වී තිබේ . ප්‍රදේශයේ ආගමික නායකයන් මෙන්ම ප්‍රදේශවාසී ජනතාව ප්‍රකාශ කරන්නේ මේ සියලු පරිසර විනාශයනට ප්‍රදේශයේ දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් වගකිවයුතු බවයි .

 

ස්ත්‍රී දුෂණ හා පොලිසිය

 

හිඹුඩාව ගංගාරාම විහාරස්ථානාධිපති කරඳගොල්ලේ සෝමරතන හිමියන් ප්‍රදේශයට සිදුවෙමින් පවතින විනාශය පිලිබදව මෙසේද කරුණු දැක්වුහ .

” මේවා කියලා වැඩක් නැහැ . මොකද මේවා ඇහෙන , දැනෙන පාලකයෝ අපේ ප්‍රදේශයේ , අපේ රටේ නැහැ මේ ප්‍රදේශයේ මේ ජාවාරම් වලට මුල් වෙලා තියෙන්නේ පවතින රජයේ ප්‍රාදේශීය දේශපාලකයෙක් හා පළාතේ දේශපාලකයෙක් . ප්‍රාදේශීය දේශපාලකයා ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී . ඔහු හා ඔහුගේ පරම්පරාවම කරන්නේ වැලි ,මැටි ,බොරළු කැපීම . මේ ජවාරම් වලට විරුද්ධ වෙන ගමේ ජනතාව මර්ධනය කරන්න මේ දේශපාලකයා ප්‍රදේශයේ පොලිසිය යොදා ගන්නවා . ගමේ ඉන්නවා සුරේෂ් කියලා මහත්තයෙක් ඔහු මේ වන විට ගමේ ජනතාව එකතුකරගෙන සමිතියක් හදාගෙන මේ ජවාරම් වලට විරුද්ධ වෙලා තියනවා . ඔහුට මොකද්ද දන්නවද කලේ බොරුවට ස්ත්‍රීයක් දුෂණය කළා කියල නඩුවක් පටලපු එක .”

සෝමරතන හිමියන් මේ පරිසර විනාශය සිදුකරන පුද්ගලයන්ගේ නම් ගම් සහිතව ප්‍රකාශ කලත් එම පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම මත එම පුද්ගලයන්ගේ නම් මෙහි සදහන් නොකිරීමට  අදහස් කලෙමි .

 

නිතිය බලු වීම

සෝමරතන හිමියන් ප්‍රකාශ කල සුරේෂ් තරංග මට මේ ගමනේදී හමුවුනේ අහම්බෙනි . තඹකන්ද ජනසරණ සංවර්ධන සමිතියේ ලේකම් වන සුරේෂ් මේ පාරීසරික විනාශය නවත්වා ගැනීම සදහා කල කාර්ය භාරය අගය කල යුතුව ඇත .
” අපිට පුළුවන් මේ විනාශය නතර කරන්න . මේ ප්‍රදේශයට පොලිසියක් හා රාජ්‍ය ආයතන තිබුනේ නැත්නම් . අපි කීපයක් මේ වන විටත් නතර කරලා තියනවා . එහෙම නතර කළා කියලා අපිට පොලිසි උසාවි ගානේ යන්න වුන අවස්ථා අනන්තයි . නමුත් අපි මේ වැඩේ නතර කරලා නැහැ . මේ වෙන කොට මේ ප්‍රදේශයේ ජනතාවට බොන්න වතුර නැහැ . ගංවතුර ගලලා මාසයයි ගියේ .මේ නිසා අපිට වගා කරන්න විදිහක් නැහැ . කවුද අපිට බොන්න ,වගා කරන්න ජලය දෙන්නේ ? ” සුරේෂ් තරංග අසන පැනයට පිළිතුරු දිය හැකි දේශපාලකයෙකු හෝ රාජ්‍ය නිලධාරියෙකු පන්නල ප්‍රදේශයේ සිටීද ?

 

ප්‍රියංගිකා සජිවනි මේ ග්‍රාමයට පැමිණ ඇත්තේ වසර දහයකට පෙරයි . ඇය මේ ග්‍රාමයට එද්දී මේ ග්‍රාමයේ ජනතාවට ජලයෙන් අඩුවක් වී නොමැති අතර මේ ජල හිගය උග්‍ර වීම ආරම්භ වී ඇත්තේ මිට වසර තුනක පමණ සිටයි .
” මගේ මහත්තයා කරන්නේ බුලත් වගාව .එයා අවුරුදු විස්සක වගේ ඉදලා මේ වගාව කරනවා . එදා මම මේ ගමට එද්දී මේ ගමේ මේ වගේ ජල ප්‍රශ්නයක් තිබුනේ නැහැ . දැන් අපිට ජලය සල්ලි වලට අරගෙන තමයි ගොවිතැන් කරන්න වෙලා තියෙන්නේ . ගොවිතැනත් එදා තරම් සරු නැහැ මොකද  පොළොව වේලිලා තියෙන්නේ . මේ විනාශය පිලිබදව කියන්න රාජ්‍ය නිලධාරියෙක් හෝ දේශපාලකයෙක් අපිට නැතිවීම තමයි අපිට තියන ගැටලුව .ඒ වගේම අපේ ගමේ විරාජමානව බැබලුන තඹකන්ද කියන කන්ද මේ වෙන කොට සතර පැත්තකින් කපන්න පටන් අරන් තියනවා . දැන් සියයට විස්සක් කපලා ඉවරයි තව මාසයක් දෙකක් ගියොත් ඉතුරු ටිකත් කපලා දායි . කවුරු හරි බලධාරියෙක් ඉන්නවා නම් මේ වෙන්න යන විනාශය නතර කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.

 

බලහත්කාරකම

 

තඹකන්ද කැපීමට අමතරව මා ඔයෙන් වැලි ගැනීම හා මාඔයේ ඉවුරු කපා මැටි හා පස් ලබා ගැනීම ජයටම සිදුවෙයි . මේ හේතුවෙන් ඇතැම් ස්ථාන වලදී මාඔය අඩි තුන් හාරසියකින් පළල් වී තිබේ . මිට අමතරව මාඔයට ආසන්නයේ අලුත් ජලාශ රැසක් නිර්මාණය කර ඇති අතර එදා රජ දවස වැව් වලට නම් දැමු ආකාරයෙන් මෙදා ද මේ විශාල වලවල් වලට නම් දමා තිබේ . ජොනී වල , නිශාන්ත වල ,බෙනට් වල, එලෙස දැමු නම් වලින් කීපයකි . රජයේ ඉඩම් මෙලෙස රජයට සම්බන්ධ දේශපාලකයන් හා ඔවුන්ගේ අනුගාමිකයන් විසින් විනාශ කිරීම පිලිබදව පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත ඩබ්ලිව් බණ්ඩාර දැඩිව හෙලා දකී .
” මට කරන්න දෙයක් නැහැ .ඔය කිසි බලපත්‍රයක් සදහා මම නිර්දේශ දීලා නැහැ . මම පැහැදිලිවම කියලා තියනවා ජනතාව විරුද්ධයි . විශාල පරිසර විනාශයක් වෙනවා කියල . මේක අද ඊයේ නෙමෙයි අවුරුදු කීපයක ඉදලා කරන වැඩක් . දැන් මේ ගම්මාන වල ජනතාවට පොඩ්ඩක් පැව්වම අපිට බවුසර් යොදා ගෙන ජලය දෙන්න වෙලා තියනවා . ඒ වගේම තමයි මා ඔයට කරලා තියන විනාශය .මාඔය  දෙපස විශාල ජලාශ තියනවා .මේක ලොකු පරිසර විනාශයක් . මිට අවුරුද්දකට පෙර මට ඔත්තුවක් ලැබුනා බැකෝ 14 ක් දාලා මැටි කපනවා කියලා . මම පන්නල පොලිසියට කිව්වා . පොලිසිය කියනවා ඒ අය එතනට යද්දී ජාවාරම්කාරයෝ පැනලා යනවා කියලා . ඊට පස්සේ මම මගේ වාහනේ එතැනට ගියා .ඒ යද්දී බැකෝ 14 කින් මහා පරිසර විනාශයක් කර කර හිටියා . මාව දැකපු ගමන් මගේ වාහනේ ඉස්සරහාට බැකෝ එකක් හරස් කරා .නමුත් මට පුළුවන් වුනා මේ යන්ත්‍ර සුත්‍ර පොලිසියට භාර දෙන්න .

මම බලපත්‍ර ලබා දුන්නු බොරළු කැපිල්ලක් නතර කරලා මට විරුද්ධව පරීක්ෂණයක් කළා . ප්‍රදේශයේ ගඩොල් ව්‍යාපාරය සදහා මම යෝජනා කළා අතින් මැටි ගන්න ක්‍රම වේදයක් හදන්න .එහෙම බලපත්‍ර තුනක් දුන්නා . ඒවා නිසි අයුරින් වෙනවා . නමුත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියනවා එහෙම බැහැ මැෂින් දෙන්න ඕනෑ කියලා . මම ඊට විරුද්ධව ලිපි ගණනාවක් යවලා තියනවා . හැබැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මාව ශත පහකට ගණන් ගන්නේ නැතුව බලපත්‍ර දීලා තියනවා . ඒ අයගේ තවත් වරදක් තමයි මම දකින බලපත්‍ර කොන්දේසි දාලා දෙනවා පමණයි .ඊට පස්සේ නියාමනයක් කරන්නේ නැහැ .

 

පගාවට වැඩ

 

පන්නල ප්‍රාදේශීය ලේකම් මෙන්ම ජනතාවත් පන්නල පොලිසියට හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට බරපතල චෝදනා කීපයක් එල්ල කලාය . මේ පිලිබදව පන්නල පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් කල විමසීමේදී ඔහු කියා සිටියේ මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි . එසේම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සභාපති අනුර වල්පොල මහතාගෙන් කල විමසීමේදී කියා සිටියේ මාඔයේ හොරෙන් සිදුකරන ජාවාරම් නැවැත්වීමට තමනට හැකියාවක් නොමැති බවයි .

” අපි බලපත්‍ර දීල තිබෙන ස්ථාන වල අක්‍රමිකතාවයක් වෙනවා නම් ඒවා නවත්වන්න මට පුළුවන් . ඒ වගේම ඉදලා හිටලා වැටලීම් එකක් දෙකක් කරන්නත් මට පුළුවන් නමුත් අපිට දිගටම වැටලීම් කරන්න කාර්ය මණ්ඩලයක් නැහැ . ඒ වගේම කියන්න ඕනෑ බලපත්‍ර දෙද්දී මාව දැනුවත් කිරීමේ ක්‍රම වේදයක් තිබුනේ නැහැ .දැන් මම කියල තියනවා අනිවාර්යෙන් මාව දැනුවත් කරන්න කියල . මම එදා ඉදලම කියන දෙයක් තියනවා . අපේ ආයතනයේ මිනිස්සු කිසිම පිළිවෙලක් නැතුව පසුගිය අවුරුදු ගානෙම කරලා තියෙන්නේ මොනවා හරි දෙයටකට යටත් වෙලා ලයිසන් නිකුත් කිරීම .ඒ ශාපය තමයි අපිට මේ ගෙවන්න වෙලා තියෙන්නේ . මම කියන අනික් කාරණය තමයි රජයේ නිලධාරීන් හසුරව ගන්න නිසි ක්‍රමවේදයක් නොමැති වීම .අවසන් වශයෙනුත් දෙයක් කියන්න තියනවා මේවා පිටුපස්සේ ඉන්නේ කවුද කියලත් හොයලා බලන්න කියලා .

 

වයඹ හඩ

වයඹ පළාතේ සිදුවන පාරසරික විනාශයන් නැවැත්වීම සදහා ” වයඹ හඩ “පරිසර සංවිධානය විශාල හඩක් නගයි . දැදුරු ඔයේ සිදුවූ වැලි ජවාරම , ආනවිළුන්දාව රැම්සා තෙත් බිමේ සිදුකල අනවසර ඉදිකිරීම් නැවැත්වීමට මුල්වී ක්‍රියා කල වයඹ හඩ පරිසර සංවිධානය පන්නල ප්‍රදේශයේ සිදුවන වැලි , මැටි , බොරළු ජවාරම් නැවැත්වීම සදහාද කටයුතු ආරම්භ කර ඇත .ඒ අනුව මුලික නිරීක්ෂණයක නිරත වන එම සංවිධානය පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ මේ දිනවල සිදුවන විශාලතම පරිසර විනාශයන්ගෙන් එකක් බවයි . වයඹ හඩ පරිසර සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශ අජිත් ගිහාන් පෙන්වා දෙන ලෙස නිසි සොයා බැලීමකින් තොරව ඛැනිම් බලපත්‍ර ලබා දීම මේ පරිසර විනාශයන් සදහා හේතු වී තිබේ .

 

” පන්නල සිදුවන්නේ ලංකාවේ විශාලතම පරිසර විනාශය කියලා කියන්න ප්‍රධාන හේතුව තමයි මේ ප්‍රදේශයේ තියන කදු කපනවා , ඔය කපනවා . මේ නිසා මේ ප්‍රදේශයේ අලුතෙන් ජලාශ කීපයක් නිර්මාණය වෙලා මේ තත්වය නිසා විශාල පරිසර විනාශයක් මේ ප්‍රදේශයට සිදුව තිබෙනවා . ලංකාවේ වෙන කොහේ හරි වර්තා වෙනවද බලන්න එකම තැනකින් බොරළු ,මැටි , වැලි ,හා පස් ගන්න .මේ තත්වය අවුරුදු කීපයක ඉදලා ඇවිල්ලා දැන් වැඩි වෙලා තියනවා . මේ නිසා වැඩියෙන්ම අසරණ වෙලා තියෙන්නේ ගොවියෝ . ඔවුනට වගා කර ගන්න ජලය නැහැ . ගංවතුර ගලලා මාසයක් යද්දී ගමේ ජල මුලාශ්‍ර හිදෙනවා . දැන් කවුද මේවට උත්තර දෙන්නේ .”

 

ජනතා බලය

 

එදා අප රට පාලනය කල රජදරුවන් රටේ වැවී ඉදිකළේ රට බත බුලතින් ස්‌වයං පෝෂිත කිරිමටයි . එහෙත් අද රට පාලනය කරන දේශපාලකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්  සිදුකරන පරිසර විනාශ හේතුවෙන් රටේ කෘෂිකර්මාන්තය නැත්තටම නැති වී ආහාර  සදහා පිටරටින් සිගමන් යදින තත්වයක් උදා වෙමින් තිබේ . මේ සියලු විනාශයන් ඉදිරියේ නිලධාරීන් දේශපාලකයනටත් , දේශපාලකයන් නිලධාරීනටත් ඇගිල්ල දිගු කරගනිමින් සිටි . තවමත් මේ ගැන සිතා තමන්ගේ වගකීම ඉටු කිරීමට හැකියාව මේ දෙපාර්ශවයටම තිබේ . නැතහොත් පන්නල ජනතාව කියනවා මෙන් තම ප්‍රදේශය පාලනය කිරීමේ හා රැකබලා ගැනීමේ වගකීම භාර ගැනීමට ජනතාව සුදානම්ය . අයුක්තියට එරෙහිව එවැනි ජනතා ශක්තියක් ගොඩනැගෙමින් පවතින අතර එය පුපුරා ගොස් ජනතා බලය හිස ඔසවන දවස වැඩි ඈතක  නොවේ .

.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *