ජයටම කෙරෙන ඉඩම් වංචාව – ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න

ඉඩම් ඇල්ලීමේ අලුත් සෙල්ලමක් පිළිබඳ මේ දිනවල රටේ ප්‍රදේශ කීපයකින් වාර්තා වෙයි. මෙහි ආසන්නත ම සිදු වීම වන්නේ, නැඟෙනහිර පළාතේ මඩකලපුව කේන්ද්‍ර කර ගනිමින් සිදු වන මහා පරිමාණ ඉඩම් ඇල්ලීම ය. රටේ නීතියට ද පයින් ගසා සිදු කරන මේ මහා පරිමාණ ජාවාරම් පිළිබඳ වගකිවයුත්තන් නිහඬව බලා සිටීම පුදුමයට කරුණක් බව ප්‍රදේශවාසීන් හා විපතට පත් වූවන් පෙන්වා දෙයි.
දසක ගණනාවක යුද්ධය නිමා කර වසර දහයක් ඉක්ම ගොස් ඇතත්, ඒ පසුපස ආ පීඩනවලින් තව දුරටත් උතුරු – නැඟෙනහිර මෙන් ම, රටේ ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත් වෙමින් සිටිති. රටේ ජනතාව පිඩාවට පත් වෙමින් සිටින විවිධාකාර ගැටලු අතර, ඉඩම් ගැටලුව සුවිශේෂ ය. එයට හේතුව, යුද සමයේ ඉඩම් අහිමි වූ ජනතාවට, ඉඩම් නිරවුල් කර දීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැතිකම හා යුද සමයේ ද ජනතාව විසින් රැක ගත් ඉඩම්වලට විවිධ කණ්ඩායම් අයිතිවාසිකම් කීමට ඉදිරිපත් වීම තුළ, නීතිය ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයක් උදා වීම ය.
නිරෝධායන ඇඳිරිනීතිය පැවැති කාලය ද ආශිර්වාදයක් කර ගනිමින්, නැඟෙනහිර පළාත පුරා සිදු කරන ඉඩම් ඇල්ලීමට දේශපාලන, ආගමික හා පාතාල සම්බන්ධකම් ද යොදා ගෙන තිබීම විශේෂ ය. මඩකලපුව පුරා ස්ථාන කීපයක මේ ඉඩම් ඇල්ලීම සිදු වුණත්, මේ ඉඩම් ජාවාරමේ තතු පැහැදිලිව පෙන්වා දීම සඳහා එක් ප්‍රදේශයක පමණක් සිදු වන දෑ මෙහි සඳහන් කෙරේ.
මඩකලපුව මන්මුනෙයි උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉතා වටිනා ඉඩම් අක්කර පන්සියයක් පමණ වංචනික ලෙස අත්පත් කර ගැනීමට එරෙහිව ඉඩම් හිමියන් මේ වන විට නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු වී ඇතත්, මේ ජාවාරම්වලට තිත නොවැටීම කතා කළ යුතුව ඇත. මේ තත්ත්වයෙන් වඩාත් ම පිඩාවට පත්ව ඇත්තේ යුද සමයේ දී ජීවිත ආරක්ෂාව
වෙනුවෙන් නැඟෙනහිර පළාත අතහැර දමා වෙනත් පළාත්වලට හා විදේශීය රටවලට පලා ගිය පුද්ගලයන් ය. මෙවැනි පුද්ගලයන්ගේ ඉඩම් රැසක් ව්‍යාජ ලිපි ලේඛන සකස් කරමින් අත්පත් කර ගෙන ඇත. පළාත් අතර සංචරණ සීමා හා නිරෝධායන ඇදිරිනීතිය, ඉඩම් ජාවාරම්කරුවනට මේ ජවාරම දිගටම බාධාවකින් තොරව කර ගෙන යෑමට පිටිවහලක් වී තිබේ.
මේ පිළිබඳ අප කළ සොයා බැලීමක දී දැන ගත හැකි වූයේ, රජයේ නිලධාරීන් ඇතුළු ඉඩම් විකිණීම හා ඒ හා සම්බන්ධ වෘත්තීන් කීපයකට අයත් නිලධාරීන් මේ ජාවාරම් සඳහා සම්බන්ධ බවයි. මොවුන් ද ඉඩම් සඳහා ව්‍යාජ ලිපි ලේඛන සකස්
කර දීම, නීතිමය ක්‍රියා ප්‍රමාද කිරීම ඇතුළු ක්‍රියාකාරකම්වලට හවුල් බව වාර්තා වෙයි. මේ අතර එක ම ඉඩම කිහිප වතාවක් යම් යම් පුද්ගලයන්ට විකුණා, ඔවුන් මුදල් උපයා ඇති බව ද ඉඩම් හිමියෝ පවසති. මුල් ඉඩම් හිමිකරුවන්ගේ ඔප්පු වෙනස් කරමින්, අක්කර ගණනාවක් අත්පත් කර ගැනීමට ප්‍රාදේශීය ආගමික නායකයකු ලෙසින් පෙනී සිටින පුද්ගලයකු මැදිහත් වී ඇතැයි ඔවුහු පවසති.
රාජ්‍ය ආයතනවල පවත්නා අකාර්යක්ෂමතාව ද මේ ජාවාරම්වලට රුකුලක් වී ඇත. මේ පිළිබඳ වගකිව යුතු ආයතන වන පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත දැනුම් දුන්න ද, ඔවුන් ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකරන බව ද ඉඩම් හිමියෝ පැවසූහ. සංවිධානාත්මක කණ්ඩායමක් වංචනික ලෙස ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ නැඟෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන ශෂීදරන් මහතා දැක්වුයේ මෙවන් අදහසකි.
“මම හිටපු පළාත් සභා මන්ත්‍රී ශෂීදරන්. අංක 25 නල්ලයා පාර පදිංචි වෙලා ඉන්නේ. මගේ මස්සිනා කැනඩාවේ පදිංචියට යද්දි ඇටෝනි බලපත්‍රයකින් ඔහු සතු ඉඩම් මට පවරලා ගියා. මඩකලපුව මන්මුනෙයි ප්‍රාදේශි ලේකම් කොට්ඨාසයේ එක් ස්ථානයක අක්කර 25ක් සහ තවත් ස්ථානයක අක්කර 10ක් වශයෙන් මගේ මස්සිනාගේ ඉතා වටිනා පොල් ඉඩම් තමයි අත්පත්කර ගෙන තිබෙන්නේ. මේ ඉඩම් දෙකටම මුල් ඔප්පු මං ළඟ තිබෙනවා. එහෙම තියෙද්දි හොර ඔප්පු හදලා, මුළු ඉඩමම වට කරලා, කොන්ක්‍රීට් කණු දාලා, තහඩු වට කරලා තියෙනවා. එක තැනක ‘Army place’කියලත් සඳහන් කර, අනුන්ගේ ඉඩම්වලට බලහත්කාරයෙන් රිංගලා, දැඩි ආරක්ෂාව යටතේ ඔවුන් ඒ ඉඩම්වල සිටිනවා.
මේ මිනිස්සු කියන්නේ ඔවුන්ට ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ සහයෝගය තියෙනවා කියලයි. මේ සම්බන්ධයෙන් මම පොලීසියට පැමිණිලි කළා. ඒත් පැමිණිල්ල ලියා ගත්ත සාජන්වරයා ඒක හරියට ලියා ගෙන නැහැ. මම මේ වෙද්දි නීතිමය ක්‍රියා මාර්ගවලට යොමු වෙලා සිටිනවා. රටේ අධිකරණය ගැන පමණක් මට විශ්වාස කරන්න පුළුවන්. ඉතිරි වෙලා තියෙන්නේ එච්චරයි.’’
ශෂිදරන් හිටපු මන්ත්‍රීවරයා පැවසූ එම ස්ථානය නිරීක්ෂණය කිරීමේදී දැක ගන්න ලැබුණේ,‘යුද හමුදා ස්ථානයක්’ යනුවෙන් එම භුමියේ සඳහන් කර ඇති අයුරුයි. ඊට අමතරව සැලකිය යුතු පිරිසක් එම භූමියේ සිටි අතර, ඔවුන් එම භූමියේ සංවර්ධන කටයුතුවල නිරතව සිටින අයුරු දැක ගන්න ලැබිණි .
නාවල්අඩි පදිංචිකරුවකු වන කුමාර්සාමි කදාහර්ගේ කතාව ශෂිදරන් මන්ත්‍රීවරයාගේ කතාවට නොදෙවෙනි කතාවකි. රජයේ නිලධාරියකු වන කුමාර් සාමි, අක්කර පහක ඉඩමක් මිලදී ගෙන ඇත්තේ තමන්ගේ සොහොයුරාගේ නමිනි. ඒ, රුපියල් කෝටියකට වැඩි මුදලක් ලබා දීමෙනි. කුමාර්සාමි තමන් පත්ව ඇති අසරණකම කියා පෑවේ, මෙවැනි ජාවාරම්
කරුවනට තවත් මෙවැනි අපරාධ කරන්නට නොහැකි වෙන ලෙස විධිමත් වාර්තාවක් සකස් කරන ලෙස ඉල්ලීමක් ද කරමිනි.
” මම විද්‍යා හා තාක්ෂණ නිලධාරියකු ලෙස වැඩ කරනවා. මම කලින් ඉඳන්ම බාබුව දන්නවා. ‘මගේ අක්කර පහක් තියනවා මිලදී ගන්න’කියලා ඔහු කීවා. මම රජයේ නිලධාරියෙක් නිසා මට ඉඩම් මිලදී ගැනීමේදී තිබෙන ගැටලු පිළබඳ සිතා මගේ සහෝදරයා නමින් මම මේ අක්කර පහ මිලදී ගත්තා. මේ ඉඩම් හොර ඉඩම් කියලා මම දැනගෙන හිටියේ නැහැ.
ලාභයට දෙන නිසා තමයි ගත්තේ. අද වෙලා තියෙන්නේ, මම මිලදී ගත් ඉඩම්වලට මටම යන්න බැරි තත්වයක්. දැන් ඒ ඉඩම්වලට ඇත්ත අයිතිකාරයෝ ඉන්නවා. මම මේ ඉඩමට සල්ලි දුන්නේ මගේ තියන දේවල් විශාල ප්‍රමාණයක් විකුණලා. කොටින්ම කිවුවොත් මම හිටපු ගේ විකුණුවා. ඊළඟට අවුරුදු 13ක් පැදපු කාර් එක විකුණුවා.
සල්ලිවලට අමතරව වායු සමීකරණ යන්ත්‍රයක්, රූපවාහිනියක් හා ළමයගේ කරේ තිබුණු චේන් පොටත් දුන්නා. දැන් මට පාරට බහින්න සිද්ධ වෙලා තියෙන්නේ. අනෙක් කාරණය; මට විකුණපු ඉඩමක් ඔහු තවත් කෙනෙකුට විකුණලා. ”
කුමාර්සාමි කදාහාර් රජයේ නිලධාරියෙකි. ඔහු ද ඉඩම් ජවාරම්කරුවන්ගේ උගුලට අසු වුණේ නම්, සාමාන්‍ය ජනතාව මේ ජාවාරම්කරුවන්ගේ උගුලට හසු වීම පිළිබඳ වැඩි විස්තර කිරීම අවශ්‍ය නොවේ. මෙවැනි ජවාරම්කරුවනට විරුද්ධව මඩකලපුව පොලිසියේ පැමිණිලි මෙන්ම, මඩකලපුව අධිකරණයේ විභාග වන නඩු කීපයක් ද පවතී. එලෙස නීතිය හමුවට ගිය කාන්තාවක් කියා සිටියේ, තමන් මේ වන විට නීතිය හමුවට ගොස් ඇති බැවින්, තම නම ප්‍රකාශ නොකරන ලෙසයි.
“මට රටේ අධිකරණය ගැන ලොකු විශ්වාසයක් තියනවා. අප අධිකරණයට ගරු කළ යුතුයි. මට සාධාරණයක් වෙනවා කියලා ලොකු විශ්වාසයක් තිබෙනවා. මම මේ ගැන කියන්න අසහස් කළේ, තවමත් මේ ජවාරම් නැවතිලා නැති නිසයි. මේ පිළිබඳ පොලිසියේ අවධානය යොමු වෙන්න ඕනෑ. ඒ වගේම, දිසාපතිවරයාගේ අවධානය යොමු වෙන්න ඕනෑ.
අපට දැනගන්න ලැබිලා තියෙන විදියට, රජයේ නිලධාරීන් මේ ජාවාරම්වලට සම්බන්ධයි. රජයේ නිලධාරීන් තමන්ගේ ඥාතීන් ඉස්සරහට දාලා, ඉඩම් මිලදී ගෙන තිබෙනවා. මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන්න ඕනෑ. මේ සියලු දෙනාට දඬුවම් දෙන්න ඕනෑ. අප රජයකින් බලාපොරොත්තු වන්නේ එයයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ මේ වන විට පවතින ඉඩම් ගැටලු පිළිබඳ වාර්තා වී ඇති බව කනපතිපිල්ලේ කරුණාකරන් මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
“මේ තොරතුරු ගැන මට වඩා හොඳට දන්නේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්). ඇයගෙන් මේ සියලු තොරතුරු ලබා ගන්න පුළුවන්.’’
මේ පිළිබඳ මඩකලපුව අතිරේක දිස්ත්‍රික් ලේකම් නවරූබ රන්ජනී ගෙන් කළ විමසීමේදී කියා සිටියේ, පෞද්ගලික ඉඩම් ගැටලු පිළබඳ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට වර්තා නොවන බවයි.
“අපට වාර්තා වෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට හා රජයට කෙලින්ම අයිති ඉඩම් ගැටලු විතරයි. ඒ වගේ ගැටලු විසි පහකට වැඩි ප්‍රමාණයක් දැනට තිබෙනවා. ඒ ප්‍රමාණය වැඩි වෙන්නත් පුළුවන්. අපි රජයේ ඉඩම් ගැටලු පිළිබඳ
නිසියාකාරයෙන් කටයුතු කරනවා. ඒත් අපට පෞද්ගලික ඉඩම් පිළිබඳ මැදිහත් වෙන්න පුළුවන්කමක් නැහැ.
මේ පිළිබඳ කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව ප්‍රකාශ කළේ, මේ පිළිබඳ තොරතුරු ලබා දිය හැක්කේ ලේඛන පරීක්ෂාවකින් පසුව බවයි.
” මේ කොවිඩ් තත්ත්වය යටතේ රාජකාරි වැඩි වීම නිසා, මේ සඳහා කාලයක් ගත වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් පිළිබඳ විමසීම වැදගත්.
ඉඩම් සම්බන්ධව, යම්කිසි ලබා ගැනීමක් පිළිබඳ, ලොකු වංචා කිරීමක් සම්බන්ධව, අපරාධ සම්බන්ධව පැමිණිලි පොලිසියට ලැබී තිබෙනවා නම් ඒ සම්බන්ධව අපි හරි විදියට විමර්ශනය කරනවා.
ඒ විතරක් නොවෙයි; මෙවැනි තත්ත්වයක් තියෙන බව මම, පොලිසිය තවදුරටත් දැනුම්වත් කරනවා. මම මේ සම්බන්ධව මඩකලපුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාත්, නැගෙනහිර භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් කොට්ඨාස භාර නිලධාරිවරු දැනුම්වත් කරනවා.
සිවිල් කාරණා සම්බන්ධව පොලීසියේ මැදිහත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒත් අපරාධමය වරදක් පිළිබඳ පැමිණිල්ලක් කර ඇත් නම්; එවැනි දෙයක් අනාවරණය වෙනවා නම්; ඒ සම්බන්ධව ඉදිරිපත් වී කටයුතු කරන්න පොලිසිය සුදානම්. මේ ගැන තව දුරටත් මෙය දැනුම්වත් කරලා සොයා බලන්න උපදෙස් දී තිබෙනවා. එලෙසම විශිෂ්ට අපරාධ තත්ත්වයක් අනාවරණය වෙනවා දැයි සොයා බලන්නත් ජ්‍යේෂ්ඨ නිලධාරින් මම දැනුම්වත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.’’
ඉඩම් ජාවාරම මඩකලපුවට පමණක් සීමා වුවක් නොවේ. රටේ ප්‍රදේශ කීපයක අඩු වැඩි වශයෙන් මේ ජාවාරම් පවතී. මේ ජාවාරම් සඳහා රජයේ නිලධාරියාගේ සිට ලොකු පොඩි විශාල පිරිසක් සම්බන්ධව සිටී. මේ තත්ත්වය අවම කිරීම සඳහා රජයේ අවධානය වහා යොමු විය යුතුව ඇත.